Google+ Followers

Tuesday, August 6, 2013

දානය සහ එහි ආනිශංස

දානය සහ එහි ආනිශංස

(වෙනත් තැනැත්තකුගේ මතයක් දුටුවිගස, කිපීමෙන්, පරුෂ වචනයෙන් බැනවදීමෙන් සිදුවන්නේ, ඔබ අදක්ෂයකු වීම (කුසල්/ කෞශල්‍ය නොමත්තෙකු වීම) සහ සිහිය පිහිටුවාගැනීමට නුසුදුස්සකු වීම පමනයි.
ගෞරවනීය ස්වාමීන්වහන්ස, මහත්මාණෙනි, මහත්මියෙනි, මෙහි කියවෙන්නේ කුමක්දැයි පළමුවෙන් කියවා, සිහිබුද්ධියෙන් යුතුව වටහා ගන්න. දෙවනුව, ශීලාචාරලෙස වචන හසුරුවා, මනා කෞශල්‍ය යෙන් යුතුව කරුණු කාරනා පෙන්වා දෙන්න. එය මහත්ථලය, මහානිසංසය.)
 
දන්දීම හොඳ ක‍්‍රියාවකි. නමුත් අපි දන්දිය යුත්තේ ඇයි යන ප‍්‍රශ්නයට ධර්මයෙන් ලැබෙන පිළිතුරු සමාජයේ උන්නතියට කොතරම් දුරට බලපාන්නේ ද? දන්දීමේ ආනිශංස ලෙස, පින් රැස්කර දෙව් මිනිස් ලෝක වල ඉපිද, සැප සම්පත් බුක්ති විඳීමට අවස්ථාව ලැබෙන බව ධර්මයේ උගන්වයි. මෙම ඉගැන්වීම මෙතැනිත් අවසන් නොකර කවර නම් කෙනකුට දන් දුන්නොත් මහත්ඵල මහානිසංශ ලැබෙන්නේ දැයි ද කියාදෙයි.  උදාහරණයක් ලෙස සිල්වත් වූ ශ‍්‍රමණයන් ට දෙන දානය දුස්සීල ශ‍්‍රමණයන් ට දෙන දානයට වඩා මහත් ඵල මහානිසංශ වේ යයි දේශනා කරයි. ඔබගේ දැනුමට අනුව මෙවැනි වූ ධර්ම සමාජයට උගන්වන්නේ සමාජයේ යහපත සඳහාත් ගුණධර්ම වර්ධනය කිරීමටත් ය. මෙම ධර්ම සමාජය විසින් කවර නම් වූ ආකාරයකින් ග‍්‍රහණය කර ගනී ද?

මැගී අක්කා පේරු දානය රැගෙන පන්සලට යන අතර මගදී සුමනා නංගි හමුවෙයි. සුමනා නංගි අලූත්ම ප‍්‍රවෘත්තියක් මැගි අක්කාට කියයි. ‘අක්කට ආරංචි නැද්ද පන්සලේ හාමුදුරුවෝ ගැන පැතිරිලා තියන කතාව?’ යයි ආරම්භ කරමින් පන්සලේ හාමුදුරුවෝ ගැන දීර්ඝ විස්තරයක් කරගෙන යයි. ‘අනේ ඇත්ත ද?’ කියන මැගී අක්කා ‘ඔය දුස්සීල ශ‍්‍රමණයන්ට දෙන දානයෙන් ඇති පින මොකක්’ දැයි කියමින් ආපසු හැරී ගෙදර එයි. දානයේ ආනිශංස හොඳින් ඉගෙන ගත් මැගි අක්කා ගේ ක‍්‍රියාව නිසා පංසලේ හාමුදුරුවන්ට දානය නැති විය.

දන් දී පින් රැස් කරගන්න යයි ධර්ම දේශනා කළ විට සිදුවන්නේ කුමක් ද? එවිට උපාසක උපාසිකාවෝ පින්තකා ම දන්දෙති. පින්තකා දන්දෙන විට දානය නැමති මහාර්ඝ ගුණය යටපත් වෙයි. පින්තකා දන්දෙන ලංකාවේ වෙසෙන බෞද්ධයින් එම පින තමාටත් තමන්ගේ මළගිය ඤාතීන්ටත් අනුමෝදන් කරති. ‘අනිත්‍ය දුක්ඛ අනාත්ම’ යයි භාවනා කරන මේ අය තම ඤාතියා මියගිය විට මළගිය තැනැත්තාගේ ‘ආත්මයට’ පින්දෙති. මට මෙහිදී අකමැත්තෙන් වුවත් කියන්නට කරුණක් ඇත.  ඕස්ටේ‍්‍රලියාව නවසීලන්තය ඇමෙරිකාව එංගලන්තය ආදී රටවලට බෞද්ධ හාමුදුරුවරුන් වැඩමවා පංසල් ආරාම සාදා දී වඩා හිඳුවන්නේ ඇයි දැයි ඔබ දන්නවා ද? ධර්මය ඉගෙන ගැනීමට ද? නැත. පින් පිණිස දන්දීමට ය. තම මළ ගිය ඥාතීන්ට පිං අනුමෝදන් කරවීමට ය. දායකයන් මාස් පතා තමන් දායක වූ පන්සලට පේරු දානය වෙන්කර ගන්නේ බොහෝවිට තමන්ගේ මව් හෝ පියා මියගිය දිනට ය. සමහර විට පවුල් කීපයක ඥාතීන් මියගිය දවස එකම දිනයට වැටෙයි. එවිට දායකයන් අතර සිදුවන ‘දානපොර’  මෙම රටවල සුලබ දෙයකි. එකම දිනයට දානය දීමට දායකයන් පොරකන විට මාසයෙන් වැඩි දින ගණනක් හාමුදුරුවනට දානය නැත. එම දිනයන්ට අදාළ කිසිම දායකයකුගේ ඤාති මරණයක් නැති වීම එයට හේතුවයි. ‘අනේ අපිට දනක් දී පිනක් කර මළගිය ඤාතියාට පිං පමුණුවන්නට හාමුදුරුනමක් වත් නැහැනෙ’ යි යන අ‍‍‍දෝනා එම රටවල ප‍්‍රධාන නගරවලින් දුරබැහැරව ජීවත් වන බෞද්ධයින්ගෙන් නිතර අසන්නට ලැබේ.

බුදුන් වහන්සේගේ ශ‍්‍රාවකයන් වූ ගරුතර සංඝ රත්නය අවුරුදු දෙදහස් පන්සියයකට වඩා වැඩි කාලයක් තුළ ත‍්‍රිපිටක ධර්මය ආරක්‍ෂා කර පවත්වාගෙන ආහ. එතුමන්ලා ඒ වෙනුවෙන් කරන ලද සේවය සුළුපටු නොවෙයි. ධර්මය ආරක්‍ෂා කර පවත්වාගෙන ඒමට සිංහල භාෂාව පමණක් නොව පාළි භාෂාව ද පරතෙරට උන්වහන්සේලා ඉගෙන ගත් හ. දෙමව්පිය නෑදෑ හිතවතුන් අතහැර දමා පැවිදි වූහ. ධර්ම ග‍්‍රන්ථ ආරක්‍ෂා කරගැනීමට ජීවිතය පවා පූජා කළහ. මෙසේ ආරක්‍ෂා කරන ලද ත‍්‍රිපිටක ධර්ම නිසා දැන් ධර්මය මතු වන්නේ ය. මෙම පොතෙහි එකොලොස් වන පරිච්ඡේදයේ විවෘත කර ඇති චූලකම්ම විභංග සූත‍්‍රය ඒ සදහා එක් උදාහරණයක් පමණි. ත‍්‍රිපිටක ධර්ම ආරක්‍ෂා කර නොතිබිණි නම් එවැනි ධර්ම පහළ වන්නේ නැත. නමුත් සංඝ රත්නයේ වටිනාකම ගිහියන් වන අප වටහා ගෙන ඇත්තේ ඉතාමත් අඩුවෙනි. ඉතාමත් කනගාටුවට කරුණ නම් බොහෝ ගිහියන්ගේ ආකල්පය වන්නේ සංඝ රත්නය වැඩ සිටින්නේ දන් දී මළගිය ඥාතියාට පිං පැමිණවීමටත්, මතක බණ දේශනා කිරීමටත්, පමණක් ය යන්නයි. මෙය ඉතා අවාසනාවන්ත කරුණකි. කිසිම බෙදීමකින් හා බලාපොරොත්තුවකින් තොරව සංඝරත්නයට ඇප උපස්ථාන කිරීමට ගිහියන් වන අප කැප වී සිටිය යුතුය. එය පිං තකා කරන ක‍්‍රියාවක් නොවිය යුතු ය.

දානයක් දී එයින් පිනක් බලාපොරොත්තු වන විට ම එම දානයෙන් තමන් බලාපොරොත්තු වන පින නැතී වී යයි. පින් රැස් කීරීමේ චේතනාව මිස දන්දීමේ චේතනාවක් එතැන නැති බැවිනි. පිනට දන්දෙන කිසිම කෙනෙක් නොදන්නා සත්‍ය එයයි. ඔබ මෙතෙක් ජීවිත කාලයට කළේ දන්පින් නම් ඔබ මෙතෙක් දානයක් දී නැත. ලාංකීය ජනතාව ආගන්තුක සත්කාරයට ඉතා ළැදි පිරිසක් ය යන්න ඉතිහාසයද සාක්‍ෂි දරයි. මෙවැනි වූ යහපත් ගුණාංග ඉතාමත්ම ඛේදජනක ලෙස විනාශ වූයේ දානයේ ආනිශංස ලෙස වැරදි ධර්මයක් ඉගෙන ගත් බැවිණි. එම වැරදි ධර්ම නිසා පින් පිණිසම දන් දෙන බැවිනි. මෙම ධර්ම වලින් තමන්ටත් සමාජයටත් අවැඩක් සිදුවන බව තේරුම් ගැනීමට තරම් වූ තර්ක විතර්ක සහිත වූ බුද්ධිය බොහෝ අයට නැත.

අපේ අයගේ දානය ගිනි පොළියක් බලාපොරොත්තුවෙන් මුදල් තැන්පත් කරනවා වැනි ය. දානය දෙන්නේ මතු උපදිනා ආත්මයක් පාසා එහි පොළිය ලබා ගැනීමේ බලාපොරොත්තුවෙනි. තමන් ඉතිරි කළ යම් මුදලක් ප‍්‍රදේශයේ ඉන්නා ගිනිපොළී කාරයාට දානය කිරීමෙන් පිනක් සිද්ධ වෙනවා ද? මුදල් ආපසු නොලැබුණත්, එම මුදල් දානය කළේ ගිනි පොලියක් සමග තැන්පත් කළ මුදල ද ආපසු ලබාගැනීමේ චේතනාවෙන් නිසා එම දානයේ පිනක් නැත. එසේම යම් කෙනෙක් පින් නැමති පොළිය බලාපොරොත්තුවෙන් පන්සලේ හාමුදුරුවන්ට දෙන දානයෙන් ද කිසිම පිනක්  නොලැබී යන බව ඔබට දැන් පැහැදිලි ද? බොහෝ දෙනෙක් දන් දෙන්නේ හාමුදුරුවන් ට දානය අවශ්‍ය දිනයට නොව තමන්ගේගේ ඥාතියා මියගිය දිනයට ය.

අනාගතයේ ලැබෙන සැප සම්පත් පතා දන්දෙන අය වර්තමානයෙහි සැප සම්පත් භුක්ති නොවිඳින දුප්පතුන් බව ඔබ දන්නවාද? ඔබ රඡකම (දැන් කාලයේ හැටියට ජනාධිපති කම) ප‍්‍රාර්ථනා කරන්නේ ඔබට රජකම නැති බැවිනි. එසේම යම් කෙනෙක් සැප සම්පත් ප‍්‍රාර්ථනා කරන්නේ ද ඔහු හෝ ඇය සැප සම්පත් නැති දුප්පතෙක් බැවිනි. යම් කෙනෙක් සැප සම්පත් ප‍්‍රාර්ථනා කරන විටම තමන් සැපසම්පත් වලින් තොර වූ දුප්පත් පුද්ගලයෙක්ය යන චින්තනය ඔහු හෝ ඇය තුළ පහළ වේ. එහි ප‍්‍රතිඵලයක් ලෙස සැප සම්පත් පතා දන්දෙන රටක දුප්පතුන් වැඩි වෙයි. ඔවුන් සැපසම්පත් බුක්ති විඳින්නේ කිසිදිනක ළඟානොවන ආනාගතයේ දී පමණි. අනෙක් අතට ඔබ බලාපොරොත්තු වන සැපසම්පත් ද, මනසේ සාදාගත් මනෝ ලෝකයක් පමණි. සැපසම්පත් යනු මනසින් සාදාගත් වැරදි දෘෂ්ඨියක් බව දකින්නෝ සැපසම්පත් වලින් අංග සම්පූර්ණ වෙති.

දානයේ ආනිශංස ඉතා පැහැදිළි ය. උදාහරණයක් ලෙස හාමුදුරු කෙනකුට දානය ලෙස ආහාරයක් දෙන විට එම ආහාරයෙන් උන්වහන්සේගේ කුසගින්න නිවෙයි. සිවුරු ආදී පිරිකර දන් දුන් විට පන්සලේ හාමුදුරුවන්ට අඳින්නට සිවුරක් ලැබෙයි.  ඔබ මෙතෙක් මෙම ආනිශංස නොදුටුවේ ඇයි? ඔබ මෙතෙක් කල් හාමුදුරුවන්ගේ කුසගින්න නිවීමට ආහාර දන් දී නැත. විලි වසා ගැනීමට සිවුරු පූජා කර නැත. ඔබ මෙතෙක් දන් දුන්නේ ඔබටත් ඔබේ මළගිය ඥාතියාටත් පින් පිණිසත් මරණින් මතු දෙව් මිනිස් සැපසම්පත් පිණිසත් පමණි. පිරිකර හා ආහාර ලබාගත් බෞද්ධ සාතෘවරයා ඔබට සත්ධර්මය දේශනා කරයි. එම සත්ධර්මය අසන ඔබ සත්‍යය දකී. දානයෙහි දන් දෙන්නාට ඇති ආනිසංශය එයයි. සත්‍ය දැකීමටත් වඩා තවත්  ආනිසංශයක් තිබේ ද? අපේ දරුවන්ට අවශ්‍ය ආහාරපාන හා ඇඳුම් පැළඳුම් සපයා දීම අපගේ යුතුකමක් විනා එය පින් බලාපොරොත්තුවෙන් කරන දෙයක් නොවේ. එසේම තම පන්සලේ වැඩවසන ස්වාමීන් වහන්සේලාට ඇප උපස්ථාන කිරීම ද තමන්ගේ යුතු කමකි. අප කළ යුත්තේ අපේ යුතුකම් ඉටු කිරීම මිස දන්පින් කිරීම නොවේ.

සීලවන්තයාටද දුස්සීල වත්තයාටද තිරිසන් සත්වයාටද බඩගින්න එක හා සමානව වූ පොදු ධර්මයක් බැවින් බෙදීමකින් තොරව දෙන දානය උතුම්ය. දානය යනු අතහැරීමයි. දානය ලබන්නාගේ සිල්වත් බව මැනීමෙන් කරන්නේ දුන් දානයද අල්ලා ගැනීමයි. තමන් ළඟ ඇති ආහාරයෙන් කොටසක් දන්දිය යුත්තේ කුසගින්නේ සිටින තිරිසන් සත්ත්වයාට ද නැතිනම් කුසපිරි ඇති සීලවන්තයාට ද? තම දායක පන්සලේ හාමුදුරුවන්ට ආහාරයක් දානය කිරීමට, තමන්ගේ ඥාතියා මියගොස් මාස තුන හෝ අවුරුද්ද හෝ අවුරුදු දෙක හෝ සම්පූර්ණ වන තෙක් බලා සිටිය යුතු ද? අපි දානමාන ගැනත් එහි ආනිශංස ගැනත් කතා නොකර අපේ යුතුකම් මොනවාද යන්න සොයා එම යුතුකම් ඉටු කළ යුතුය. අනෙක් අතට දානයේ ආනිශංසය, දානය ලබන්නාටත් දෙන්නාටත් ඒ මොහොතේම ලැබෙන බැවින් එම ආනිශංස ගැන දේශනා කීරීමට හෝ ලිවීමට අවශ්‍යය ද? නොපෙනෙන අනාගතයේ ලැබෙන සැපසම්පත් මත බලාපොරොත්තුව තබා තම අනුගාමිකයනට දානය පුරුදු පුහුණු කිරීම යම් සාතෘවරයකුගේ අභිලාසය නම් එම උත්සාහය, බූරුවාගෙන් වැඩගැනීමට උගේ ඉදිරියෙන් කැරට් අලයක් එල්ලනවා වැනි ය. බූරුවා යනු තිරිසනෙකි. නමුත් මිනිසා යනු සත්‍ය දැක සසරින් එතෙර වීමට පැමිණි බුද්ධිමතෙකි.

දන්පින් කරන (පින් පිණිස දන්දෙන) අය වැඩිපුර සිටින ලංකාවේ දුප්පතුන් වැඩිවීමටත් දන්පින් නොකරන (පින් පිණිස දන් නොදෙන) අය සිටින බටහිර රටවල පොහොසත් අය වැඩිවීමටත් හේතුව දැන් ඔබට පැහැදිළි වී ඇතැයි මම සිතමි. බටහිර රටවල ජනයා ‘පින’ ගැන නොදනිති. නමුත් විවිධ රාජ්‍ය නොවන සංවිධාන වලට මාස්පතා මුදල් හා වෙනත් ද්‍රව්‍ය දන්දෙති. තුන්වන ලෝකයේ රටවල දුප්පත් දරුවනට මාපියෝ වෙති. ඔවුන් එවැනි දේවල් කරන්නේ පිනක් බලාපොරොත්තුවෙන් නොවෙයි.

දානය සෑම විටම හොද ක‍්‍රියාවක් ද නොවෙයි. ඔබේ සහෝදරයා අලස පුද්ගලයෙක් පමණක් නොව බේබද්දෙක් ද නම්, මාස්පතා ඔබට ලැබෙන ආදායමෙන් කොටසක් සහෝදරයාට දානය කිරීම හරි දෙයක් යයි ඔබ සිතනවා ද? ඔබේ ක‍්‍රියාවෙන් සිදුවන්නේ සහෝදරයා තව තවත් අලස වීමත් මත්පැනට ඇබ්බැහි වීමත් පමණි. බොහෝ මව්පියවරු තමන්ගේ විශ‍්‍රාම වැටුප දීගතල ගිය තම දරුවන්ගේ සුඛ විහරණයට ඔවුන්ට මාස්පතා දන්දෙති. මෙම දන්දීමෙන් වන ආනිශංසය කුමක් ද? රජයෙන් හෝ විශ‍්‍රාම ගිය මව්පියන්ගෙන් හෝ මාස්පතා සහනාධාර ලබන අය ගේ කැමැත්ත එම සහනාධාර නොකඩවා ලබාගැනීමයි. එම කැමැත්ත ඒ ආකාරයටම සිදුවිය යුතු බැවින් අනුන්ගෙන් ම යැපෙන්නට බලාපොරොත්තු වන්නන්ට ජීවිතයේ කිසිම දාක ආර්ථික දියුණුවක් ඇති වන්නේ නැත. එවැනි ජනතාවක් සිටින රටක ද ආර්ථික දියුණුවක් නැත.

කතෘ සටහන: මීට අවුරුදු දෙකකට පමණ පෙර නවසීලන්තයේ වෙසෙන මගේ එක් ශිෂ්‍යයකුගේ ආච්චි අම්මා මිය ගියා ය. මිය යන විට බැංකු ගිණුමෙහි වූ ඩොලර් මිලියන එක හමාරක (රුපියල් කෝටි දහයක් පමණ) මුදලකට හා මිලියන බාගයක් පමණ වටිනා නිවහනකට ඇය අයිතිකාරිය වූවා ය. බටහිර රටවල දරුවන්ට දෙමව්පියන්ගේ දේපළ වල අයිතියක් නැත. ඔවුන් දෙමව්පියන්ට අයිති සම්පත් උදුරා ගන්නේ නැත. ඒවා ගැන බලාපොරොත්තුවක් වත් නැත. දරුවෝ තම උත්සාහයෙන් හරිහම්බ කරගෙන ජීවත් වෙති. එමනිසා රටේ ආර්ථිකය දියුණුවෙයි.  ශ‍්‍රී ලංකාවේ බොහෝ මව්පියවරු තමන්ට අයිති සම්පත් දරුවන්ට දන් දී ජීවිතයෙන් විශ‍්‍රාම ගනිති. දරුවන්ගෙන් යැපෙන්නන් බවට පත්වෙති. දරුවන්ට ද නොමිලේ ලැබුණ දෙයෙහි අගයක් නොමැති බැවින්, ඔවුහු මව්පිය උරුමයෙන් ලැබුණ දේපොළ විනාශ කර දමති. මෙය රටේ ආර්ථිකයට ද අහිතකර ලෙස බලපායි. අවසානයට ඉතිරිවන්නේ අනුන්ගෙන්ම යැපෙන්නට බලාගෙන සිටින ජාතියක් සිටින රටකි.

-ආචාර්ය තිස්ස සේනානායක-
E-mail:- tissamahima@gmail.com  
කෘතිය:- "ධර්ම පහුර හිස තබාගෙන මෝහ ගඟ තරණය කරන්නෝ"