Google+ Followers

Friday, August 23, 2013

ආපෝ තේජෝ වායෝ පඨවි ලෙස හඳුන්වනු ලබන මහාභූත

"මහාභූත වල විවිධත්වයක් ඇත. ආපෝ තේජෝ වායෝ පඨවි ලෙස හඳුන්වනු ලබන මහාභූත එකක් අනෙක ගිලගෙන පවතී. මහාභූත යනු පදාර්ථය නොවේ. ඇසෙන් මහාභූත තබා චස්තුවක්වත් දකින්කට නොහැකිය. උදාහරණයකින් කියනවානම් අපි ඇසෙන් වස්තු දකින්නේ අන්ධයා සැරයටියෙන් වස්තුවක් දකින ආකාරයටයි. අන්ධයා සැරයටියෙන් පුටුව දකී. අපි ඇසෙන් පුටුව දකිමු. නමුත් එක් අයෙක් වත් පුටුව දැක නැත. වර්ණ ගන්ධ රස ශබ්ද හා ස්පර් රූපයෝ මහාභූත වල නැත. මෙම සියලූම රූප මනසෙන්ම අප විසින් සාදාගත් රූප ස්කන්ධයන් ය. මහාභූත වල නැතිවීමත් ඇති වීමත් එකවර සිදුවන අතර නැති වී ඇති වන්නේ මුලින් තිබූ මහාභුත වල සංකලනය නොවේ. මෙම එකවර සිදුවන ඇතිවීම හා නැතිවීම හෙවත් ‘යමකය’ හැරුණකොට කිසිම ආකාරයක ක‍්‍රියාවක් විශ්වයෙහි සිදුවන්නේ නැත (යමකය යනු ක‍්‍රියාවක් නොවෙයි). නමුත් ලෝකයෙහි විවිධ වූ ක‍්‍රියා සිදුවේ යයි අපි පිළිගන්නෙමු. පෘතග්ජන පුද්ගලයා මෙම ලෝකයත්, ලෝකයෙහි සිදුවන ක‍්‍රියාත්, තමන්ගේ මනසින් සාදාගත්තක් බව නොදනී. මෙම මහ පොළොවෙහිත් වෙනත් ග‍්‍රහලෝකවලත් මිනිස් වාස නැති ප‍්‍රදේශ ඇත. එම ප‍්‍රදේශවල මහා විශාල භූමිකම්පා ඇතිවී මහා වෙනස් වීම් සිදුවේ. ‘මෙම විනාශය’ කිසිවකුගේ කර්ම විපාකයක් වන්නේ නැත. මුහුදේ සිදුවන විශාල භූමි කම්පාවකින් අලූත් දූපතක් මතු වී කාලයාගේ ඇවෑමෙන් එහි ගස්කොලන් වැවී අවසානයේදී එම දූපත මනුෂ්‍ය ජනාවාසයක් වෙයි. දේව ධර්මය අනුව මෙම දෙවියන් වහන්සේ ගේ ක‍්‍රියාවකි. පරිණාමවාදයට අනුව එය ලෝකයේ සිදුවන පරිනාම ක‍්‍රියාවලියකි. බුදුදහමට අනුව ‘භූමි කම්පාව’ නම් වූ ක‍්‍රියාවක් නැත. නමුත් අපි ක‍්‍රියාව පිළිගන්නෙමු. මෙම ක‍්‍රියාවට කර්මය ඈ‍දෙන්නේ කෙසේ ද? ඒ සඳහා භූමිකම්පාවක් වීමට ම උවමනා නැත. යමකුගේ තම කුඩා නිවසට ගසක් කඩා වැටී නිවස විනාශ වූ විට එය ගෙහිමියාට අකුසල කර්මයක් ඵල දීමක් යයි කර්මවාදීහු කියති. දෙවියන් වහන්සේගේ කැමත්ත යයි දේවවාදීහු කියති. සමහර කට පාඩම් කිරීමට දක්‍ෂ ශිෂ්‍යයින් විභාග ඉතා හොඳින් සමත් වී උපාධි ලබාගන්නා විට එය පෙර ජාතියක කරන ලද හොඳ කර්මයක විපාකයක් යැයි කියති. නමුත් මෙම ශිෂ්‍යයාට හොඳ මතක ශක්තියක් ඇති නමුත් විමර්ශනාත්මක බුද්ධියක් නැති බැවින් රැකියාවක් නොමැතිව සිටින විට එය අකුසල කර්මයක විපාකයකි. කටපාඩම් කිරීමට දක්‍ෂතාවක් නැති නමුත් විමර්ශනාත්මක බුද්ධිය ඇති අනෙක් ශිෂ්‍යයා පාසල් ගමන අතර මග නතර කරන්නේ පෙර කරන ලද අකුසල කර්මයක විපාක වශයෙනි. මොහු වැඩිහිටියකු වී දේශපාලනයට සම්බන්ධ වී ඇමතිවරයකු වන විට එය කුසල කර්මයකි. තමන්ගේ ‘මරණය’ ට කිසිවකු කැමති නැත. නමුත් ‘මරණය’ කුසල අකුසල කර්ම භේදයකික් තොරව සියලූ පෘතග්ජන පුද්ගලයාට පොදු වූ ධර්මතාවයකි. "           -Tissa Senanayaka