Google+ Followers

Tuesday, August 6, 2013

තර්කය හා විතර්කය නොමැති මිනිසා, කියන කියන දේට, එහෙයි, සාධු කියයි.

මිනිසා සංයෝජන දහයකින් භවයට බැදී පවතින අතර මෙම බන්ධන නිසා මිනිසාට ජාති ජරා ව්‍යාධි හා මරණය උරුම වී ඇත. මම අසා ඇති පරිදි මෙම දස සංයෝජන නම් සත්ව පුද්ගල දෘෂ්ඨිය, සැකය, සිල් ව‍්‍රත, ලෝභය, ද්වේශය, කාම රාග, අරූප රාග, මාන, උද්ධච්ඡු සහ අවිද්‍යා වේ.

ආගම් ජාති හා කුල භේදයකින් තොරව පෘතග්ජන කාටත් ජරා, ව්‍යාධි හා මරණ උරුම වී ඇත. සිදුහත් කුමරුට රජ සැප විදීමට බාධාවක් වූයේ ද, මෙම ජරා, ව්‍යාධි හා මරණයි. පංච ඉන්ද්‍රියන් සමග බැඳී ඇති දස සංයෝජන බිඳ දමා සිදුහත් තවුසාණෝ බුද්ධත්වයට පත් වී ජරා ව්‍යාධි හා මරණයෙන් නිදහස් වූහ. පළමු සංයෝජන තුන වන සත්ත්ව පුද්ගල දෘෂ්ඨිය, සැකය හා සිල් ව‍්‍රත බිඳ දැමූ විට යමෙක් නිවන් මාර්ගයට හෙවත් සත්‍යයේ මාර්ගයට අවතීර්ණ වෙයි. මධ්‍යම ප‍්‍රතිපදාව නැතහොත් ආර්ය අෂ්ඨාංගික මාර්ගය යනු මෙම සත්‍යයේ මාර්ගයයි.

සත්ත්ව පුද්ගල දෘෂ්ඨිය ඇතුළු සියලූම දෘෂ්ඨි දැනුමේ ඵලයන් ය. දැනුම වැරදි බැවින් එහි ඵලයන් වූ සියලූම දෘෂ්ඨි මිථ්‍යා දෘෂ්ඨි වෙයි. අවබෝධයෙහි සම්මා දෘෂ්ඨියක් නැත. කුඩා ළමයාට අනුන්ගෙන් අසා දැනගත් බාහිර දැනුමක් නැති බැවින් ඔහුට හෝ ඇයට සත්ත්ව පුද්ගල දෘෂ්ඨියක් නැත. ඔහුට හෝ ඇයට මවාගත් ලෝකයක් නොමැති බැවින් එතෙර වීමට ද ලෝකයක් නැත. සත්ත්ව පුද්ගල දෘෂ්ඨිය නැති කුඩා දරුවාට සසරින් එතෙර වීමට ද නොහැක. සසරින් එතෙර වීමට නම් වැරදි දැනුම අප තුළ තිබිය යුතු ය.
සැකය යනු අපව සසරට බැඳ තබන දෙවන සංයෝජනයයි. ධර්මය කෙරෙහි ඇති සැකය මෙයින් අදහස් කෙරෙයි. සසරින් එතෙර වීමට නම් සත්ත්ව පුද්ගල දෘෂ්ඨිය මෙන් ම ධර්මය කෙරෙහි ඇති සැකය ද ලෝකයෙහි ජීවත් වන අප තුළ තිබිය යුතු ය. සත්ත්ව පුද්ගල දෘෂ්ඨිය නැති කුඩා දරුවාට සත්‍ය දකින්නට නොහැකිවා මෙන්ම ධර්මය කෙරෙහි සැක නැති පුද්ගලයාට ද සසරින් එතෙර වීමට නොහැකි ය. අවාසනාවකට මෙන් නිවන් සොයා යන බොහෝ දෙනකුට තමන් අනුගමනය කරන්නා වූ ධර්ම කෙරෙහි සැකයක් නැත. ඒ අය ධර්මය සැකයකින් තොරවම පිළිගනිති.

සාරාංශ කර කියනවා නම්, දස සංයෝජනයන් ගෙන් ලෝකයට බැදී ඇති මිනිසා සත්‍ය දැකීමට සුදුස්සෙකි. යෝගාවචරයෝ සත්ත්ව පුද්ගල දෘෂ්ඨිය වැරදි දෘෂ්ඨියක් බව පිළිගන්නා නමුත් එය වැරදි දැනුමේම ප‍්‍රතිඵලයක් බව නොදකිති. එම නිසා අනුන්ගෙන් ඉගෙන ගත් දැනුමෙන් ඉවත් නොවී දැනුම හරහාම සත්ත්ව පුද්ගල දෘෂ්ඨියෙන් නිදහස් වීමට සිල්ව‍්‍රත රකී, සමාධිය වඩයි, භාවනා කරයි. දැනුමේ වැරදි දකින විට දැනුමෙන් අයින් වී දැනුමේ ම ඵලයක් වූ සත්ත්ව පුද්ගල දෘෂ්ඨියෙන් අයින් වෙනවා විනා කිසිම භාවනාවකින් හෝ කිසිම සීලයකින් සත්ත්ව පුද්ගල දෘෂ්ඨිය බිඳ දැමිය නොහැකි ය. ඇයි? සියලූම භාවනා වලට හා ශීලයට පදනම ද සත්ත්ව පුද්ගල දෘෂ්ඨියෙන් නිර්මාණය කරගත් ධර්ම වන බැවිනි. සක්මන් භාවනාවේ දී ‘මම මගේ පාදය ඔසවමි’ යයි භාවනා කරන කල, පාදය ඔසවන්නේ  ‘මම’ ය. යෝගාවචරයෝ ‘පාදය’ ත් පිළිගනිති. ‘මම’ ත් පිළිගනිති. නමුත් ‘බුද්ධ’ යනු සියලූම පිළිගත් ධර්ම වලින් නිදහස් වූ තැනකි.

සියලූම පිළිගත් ධර්ම වලින් නිදහස් වී දුක නැති කර ගැනීම මිනිසාට දුෂ්කර වී ඇත්තේ ඇයි? මිනිසාට අවශ්‍යම ධර්මයක් වන තර්කය හා විතර්කය නොමැතිකමයි. ඔබ තර්ක හා විතර්ක වලින් තොරව අන්‍යයන් දේශනා කරන ධර්ම එලෙසම පිළිගනී. ධර්මය විමර්ශනය කරන්නේ නැත. ඔබේ ගුරුවරයා දේශනා කරන ධර්මයන්හි ඇති පරස්පර විරෝධතා දකින්නේ නැත. සත්‍ය දැකීමට ඔබ අනුගමනය කරන්නේ බාහිර නැති රූපයකින් නිර්මාණය කරගත් වැරදි දැනුමක් බව ඔබ දකින්නේ නැත. මෙම නොදැකීම නිසාත් ධර්මය එලෙසම පිළිගැනීම නිසාත් ඔබට ධර්මය කෙරෙහි සැක පහළ නොවෙයි. තර්කය සහ විතර්කයත් එමගින් පැන නගින්නා වූ සැකයත් නොමැති නම් සත්‍ය පහළ නොවෙයි. නමුත් ඔබේ ගුරුවරයා ඔබට උගන්වන්නේ ධර්මය කෙරෙහි සැක පහළ කර නොගන්නා ලෙසයි. යම් කෙනකු තමන් අනුගමනය කරන්නා වූ ධර්මයෙහි සැක නැතිනම් එයින් අදහස් කරන්නේ ඔහුට හෝ ඇයට තර්කය හා විතර්කය නැති බවයි. තර්කය හා විතර්කය නැති පුද්ගලයා සත්‍යය දැකීමට සුදුසු පුද්ගලයෙක් නොවේ.

නිවනට මාර්ගය නම් ධර්මය අත හැරීම මිස ධර්මය ධාරණය කිරීමවත් එම ධර්මය පිළිපැදීමවත් නොවේ. බුදුන් වහන්සේ ධර්මය පහුරකට උපමා කළේ එබැවිනි. තොටියා ගඟ තරණය කළ පසු පහුර ඔසවාගෙන යන්නේ නැත. පහුර ද හබල ද තොටුපොලේ තබා යයි. එපමණක් ද නොවෙයි, තොටියා ගඟ තරණය කරන විට ද පහුර කර ගසාගෙන යන්නේ නැත. ඔබ මෙතෙක් නොදැක්කේ එයයි. ඔහු පහුර මත නැගී හබල් ගසයි. පහුර අවශ්‍ය වන්නේ තොටියාට ඉඳගෙන යාමට පමණි. ගඟ තරණය කරන්නේ හබලෙන් මිස පහුරෙන් නොවෙයි. බුදුන් වහන්සේ ‘පහුර’ ධර්මයට උපමා කළ අපූරුව බලන්න. මෙතරම් රසවත් ධර්මයක් බුදුන් වහන්සේ දේශනා කර තිබියදී ඔබ කරන්නේ කුමක් ද? ඉඳගෙන යාමට ඇති ධර්මය නැමති පහුර හිස තබාගෙන, හබළ ද ඉවත දමා, මෝහය නැමති ගඟ තරණය කිරීමට වීර්යය කරයි. ඔබ සැඩ පහරට අසුවී පහුරත් සමගම මුහුදට ගසාගෙන යයි. ගගෙන් එතෙර වීමක් නම් නැත.

ධර්මය තිබෙන්නේ ලෞකික ලෝකයේ ජීවත් වී මිය යාමට මිස, ඔබ නිර්මාණය කරගත් ලෝකයෙන් එතෙර වීමට නොවේ. පහුරේ ආධාරයෙන් තොටියා ගඟ පහළට ගසාගෙන යනවා විනා ගඟ තරණය කළ නොහැකිවා මෙනි. ගඟ තරණයට හබළ අවශ්‍ය වෙයි. හබලින් කරන්නේ සැඩ පහරට එරෙහිව ඔරුව මෙහෙයවා එහි ගමන් මග වෙනස් කිරීමයි. හබල උපමා කළ හැක්කේ කවර ධර්මයකටද? ප‍්‍රඥාවට හෙවත් සම්මා දෘෂ්ඨියට ද? නැත. භවය තරණය කරන තොටියාට තවම ප‍්‍රඥාව පහළ වී නොමැත. ප‍්‍රඥාව පහළ වන්නේ ගඟ තරණය කළ පසුවයි. පහුර මත සිටින තොටියාට මිථ්‍යා දෘෂ්ඨිය මිස, සම්මා දෘෂ්ඨියක් නැත. එසේනම් ගමන් මග වෙනස් කරමින් තොටියා තොටුපළ කරා රැගෙන යන මෙම හබල කුමක් ද? මෙම හබල නම් තර්කය හා විතර්කයයි, නැතහොත් සැකයයි. තර්කයෙන් හා විතර්කයෙන් ධර්ම කෙරෙහි සැක උපදී. මෙම සැකයෙන් තොටියාගේ ගමන වෙනස් කරයි. හබල අත නැති ධර්මය පිළිගත් යෝගාවචරයා සැඩ පහරට අසුවී මරණයට හෙවත් මුහුදටම ගසාගෙන යයි. හබල නොමැති පහුරෙන් ගඟ තරණය කළ නොහැකිවා මෙන් සැකය නොමැති ධර්මයෙන් මෝහය තරණය කළ නොහැකිය.

ලෝකයෙන් එතෙර නොවූ කිසිවෙක් ‘දුක’ යනු කුමක් දැයි නොදනිති, ඔවුහු ලෞකික දුකක් ගැන දේශනා කරති. තිරිසන් සත්ත්වයාට මිනිසාට මෙන් සසර ගමන දුකක් නොවේ. තිරිසන් සත්ත්වයෝ ධර්මය නැමති පහුර ඔසවාගෙන යන්නේ නැත. ඔවුන්ට ඔසවාගෙන යන්නට ධර්මයක් හෝ දැනුමක් නොමැති බැවිනි. මිනිසාට පමණක් ඇති මෙම ‘දුක’ නම් ධර්මය නැමති පහුර හිස තබාගෙන ගඟ තරණය කිරීම බව ඔබට නොපෙනේ ද? ධර්මය හෙවත් දැනුම පිළිගැනීම මිනිස් සත්ත්වයාට දුකකි. දුකින් නිදහස් වීමට යයි කියමින් අනුගමනය කරන ක‍්‍රියා මාර්ග වලින් තව තවත් දුකට පත්වෙයි. දුකින් නිදහස් වීමට නම් සියලූම පිළිගත් ධර්ම වලින් නිදහස් විය යුතුය. එක් ධර්මයක් අතහැර තවත් ධර්මයක් අල්ලා ගතහොත් ගමන තවත් දිගු වෙයි, පහුර හිස තබාගෙන සැඩ පහරට අසුව මුහුදට ගසාගෙන යන බුද්ධිමත් ඔබට, පහුර හිසෙන් කරට ගෙන කරින් ජලය මත තබා එය මත නැගී හබල නිවැරදි අතට මෙහෙය වීමට කල්‍යාණ මිත‍්‍ර සේවනය උදව් වෙයි.

-ආචාර්ය තිස්ස සේනානායක-
E-mail:- tissamahima@gmail.com
කෘතිය:- "ධර්ම පහුර හිස තබාගෙන
මෝහ ගඟ තරණය කරන්නෝ"