Google+ Followers

Tuesday, September 10, 2013

හේතු ඵල දහම

තිස්ස සේනානායකයන් ........
එක්තරා ගොවියකුට අයිති ගොන් බානක් ගොවියා නිදි අතරේ යමෙක් සොරා ගත්තේ ය. ගොවියා අවදිවන විට ගොන් බාන නැත. ගොවියා ගොන් බාන සොයා යන විට සොරා හමුවෙයි. දෙදෙනාම ගොන් බානට අයිතිය කියයි. දෙදෙනාගේ කෝලාහලය මහෞෂධ පඩිතුමාට දැන ගන්නට ලැබෙයි. මහෞෂධ පඩිතුමා ගොන් ප‍්‍රශ්නය විසදයි. ගොන් බානට කන්නට දුන්නේ මොනවා දැයි සොරාගෙන් අසයි. ‘මම ඇල් හාලේ බත් දුන්නා’ යයි සොරා කියයි. කන්න දුන්නේ මොනවා දැයි ගොවියාගෙන් ඇසූ විට ‘මම තණකොළ කන්න දුන්නා’ යයි ඔහු කියයි. දැන් කළ යුත්තේ ආහාරයට ගත් දේ වැමෑරීමයි. ගොන් බාන මෙතෙක් කල් ආහාරයට ගෙන තිබෙන්නේ ‘තණකොළ’ බව දකින්නේ මෙම ආහාර වමාරන විටදී ය. ගොන් බාන ආපසු ගොවියාට බාර දෙයි.

මෙහි ගොවියා නම් හේතු ඵල ධර්මයයි. දර්ශනයට පෙර හේතුඵල ධර්මය ක‍්‍රියාත්මක වන්නේ තද නින්දෙහි බැවින් ගොවියා සිටින්නේ නිදාගෙන ය. සොරා නම් සත්ත්ව පුද්ගල ධර්මයයි. සත්ත්ව පුද්ගල ධර්ම ක‍්‍රියාත්මක වන්නේ අවදිව ඇතිවිට චින්තනය තුළයි. ගොන්බාන නම් කායික වීර්යය හා මානසික වීර්යය යි. මෙම සත්ත්ව පුද්ගල දෘෂ්ඨිය නැමති සොරා තමන්ට අයිති නැති කායික වීර්යය, මානසික වීර්යය නැමති ගොන් බාන තමන්ගේ යයි කියයි. තමන්ට අයිති නැති හේතුඵල ධර්මයක් වූ ‘ආශ්වාස ප‍්‍රශ්වාශය’ තමන්ගේ යයි පිළිගන්නා යෝගාවචරයෝ ද, එම සොරාගත් ආශ්වාස ප‍්‍රශ්වාසයෙන්ම සත්‍ය දැකීමට කායික වීර්යය හා මානසික වීර්යය යොදයි. ධර්මයෙන් සත්‍ය සොයන ගවේශකයන්ට ධර්මය නැමති ආහාරය ඇල් හාලේ බත් ය. ධර්මය හිස තබාගෙන යන්නේ එබැවිනි. සොරා නියම ගොවියා නොවන බැවින් ඔහුගේ සී සෑමෙහි සහ වැපිරීමෙහි අවසානයක් නැත. මෙම කන්නයේත් වපුරා ඊළඟ කන්නයත් වපුරන්නට බලාපොරොත්තු වෙයි. දෙව් මිනිස් සැපෙන් සෑහීමකට පත්නොවී සක්විති රජකම ද ප‍්‍රාර්ථනා කරන්නේ එබැවිනි. මේ අතර ගොවියා අවදි වෙයි. එනම් හේතුඵල ධර්මය දකී. එය ඉන්ද්‍රියන් අභිබවා අවදි වීමකි. මෙම අවදි වීම සිදුවන්නේ සංසාරයටම එක් වරකි. හේතුඵල ධර්මය දකින මෙහොතේ, එනම් සත්‍ය දකින මොහොතේ ගොන් බාන නැත. කායික හා මානසික වීර්යය, නැමති ගොන්බානත් සමග සත්‍ය දැකිය නොහැක. සත්‍ය දකින මොහොතේ සියලූම ධර්ම වලින් නිදහස් බැවින් කායික වීර්යයක් හෝ මානසික වීර්යයක් එතැන නැත. නමුත් තවමත් කෙළෙස් තුරන් වී නොමැති බැවින් අවදි වූ පසු ගොන් බාන සොයාගෙන යයි. මෙතෙක් මනසට ගත් ධර්මය නැමති ආහාරය තණකොළ බව ගොවියා දකි. සත්‍යය දුටු පසු ඕනෑම කෙනෙකුට ධර්ම වමාරන්නට සිදුවන නිසා තමන් මෙතෙක් ආහාරයට ගෙන ඇත්තේ ඇල් හාලේ බත් නොව තණකොළ බව තමන්ටම දැකිය හැක. මා කියන්නක් පිළීගැනීමට අවශ්‍ය නැත.