Google+ Followers

Tuesday, October 15, 2013

ලෝකෝත්තර ධර්ම දකිනවා මිස දැනුම හරහා විස්තර කළ නොහැකිය

අස්සජි මහ රහතන් වහන්සේ දේශනා කළ හේතු ඵල ධර්මය කෝලිය උපතිස්ස පිළිගත්තේ ද නැත. එම ධර්ම පිළිගත්තා නම් දාන පාරමිතාව සම්පූර්ණ වන්නේ නැත. ධර්ම පිළිගැනීම යනු දාන පාරමිතාවට ප‍්‍රතිවිරුද්ධ වූ ධර්මයකි. සත්ත්ව පුද්ගල දෘෂ්ඨිය පිළිගැනීම එක් අන්තයකි. සත්ත්ව පුද්ගල දෘෂ්ඨියෙන් තොර වූ හේතු ඵල ධර්මය පිළිගැනීම තවත් අන්තයකි. සත්‍ය දැකීමට නම් මෙම අන්ත දෙකම අතහැරිය යුතු ය. සත්‍යයට අන්ත නැත. අන්ත වලින් යුත් සියලූම ධර්ම ලෞකික ධර්ම වෙයි. හේතුඵල ධර්මය ද පෘතග්ජනයාට ලෞකික ධර්මයකි. එය ලෝකෝත්තර ධර්මයක් වන්නේ එය දැකිය හැකි නම් පමණි. හේතුඵල ධර්මය දුටු විට එතැන හේතුඵල ධර්මයක් ඉතිරිවන්නේ නැත. යමෙක් සත්‍ය දුටු විට ද දකින්නට සත්‍යයක් නැති බව දකී. පෘතග්ජන පුද්ගලයා නිවන් හඹා යයි. නමුත් යම් කෙනෙක් නිවන් දකී ද ඔහු හෝ ඇය දකින්නට නිවනක් නැති බව දකී. ධර්මය නැමති පහුර තොටුපොලේ තබා යන තොටියා අත කිසිම ධර්මයක් නැත. ආර්ය අෂ්ඨාංගික මාර්ගය හෝ මධ්‍යම ප‍්‍රතිපදාව හෝ මාර්ගඵල හෝ නිවන හෝ ඔහු අත නැත. ලෝකෝත්තර ධර්ම දකිනවා මිස දැනුම හරහා විස්තර කළ නොහැකිය. බුදුකෙනෙක් නිවනෙහි නැති දේවල් දේශනා කරනවා විනා තියෙන දේවල් දේශනා නොකරන්නේ එබැවිනි. රහතන් වහන්සේ කෙනෙක් අනුගමනය කරන්න යයි බුදුකෙනෙක් දේශනා කරන්නේ නැත. එවිට එය ලෞකික දහමකි, ව‍්‍රතයකි. පිළිගත් ධර්ම අතැතිව කිසිවකුට ‘බුදුන්’ ට ළඟාවිය නොහැකිය. අංගුලිමාල කථාවෙන් එය මනාව පැහැදිලි වෙයි. අංගුලිමාල කඩුව අමෝරාගෙන බුදුන් පසුපස එලෙව්වේ ය. ඔහු හති වැටී මග නතර විය. නමුත් බුදුන් ට කිට්ටු කළ නොහැකි විය. බුදුන් වහන්නේ ශාන්ත ගමනින් වැඩියහ. බුදුන් වහන්සේ ගේ එක් වචනයකින් අංගුලිමාල අත තිබූ කඩුව බිම වැටුණි. අංගුලිමාල ‘බුදුන්’ ට කිට්ටු කළේ ධර්මය නැමති කඩුව අතහැරිය පසුවයි.-Tissa Senanayaka