Google+ Followers

Thursday, October 17, 2013

පඨමං බෝධි පල්ලංකං  - දුතියංච අනිම්මිසං
තතියං චංකමනං සෙට්තං - චතුත්ථනං  රතනාගාරං
පන්චමං  අජපාලංච - මුචලිං දේන ජට්ඨමං 
සත්තමං  රාජායතනං
සත්සතියෙන් පෙන්වන්නේ බුද්ධත්වයට පසු සිහිය පිහිටුවන අවස්ථා හතකි. බුදු දහමට අනුව මාර්ග සහ ඵල අටකි. සෝවාන් මාර්ගය සහ ඵලය, සකෘදාගාමී මාර්ගය සහ ඵලය, අනාගාමී මාර්ගය සහ ඵලය සහ අරහත් මාර්ගය සහ ඵලය මෙම මාර්ග සහ ඵල 8 යි. විවිධ සුත්‍ර සහ ජාතක කතා වල මෙම සෝවාන් මාර්ගය කුමක්‌ ද යන්න වක්‍රව සදහන් ව ඇත. සෝවාන් මාර්ගය බුද්ධත්වයට පෙර කයෙහි සිහිය පිහිටවන අවස්ථාවයි.

සත්‍යය පහළවීමත් සමග ඇතිවන සතිය (පඨමං බෝධි පල්ලංකං) යනු සෝවාන් ඵලයේ සිහිය පිහිටුවීමයි. එය බුද්ධත්වයෙන් පළමු සතියයි. බෝධි මුලයේ සිහිය පිහිටුවන මෙම අවස්ථාවේදී ඇස විවෘතව ඇති නමුත් කිසිම වස්තුවක් නොදකියි. උප්පත්තිය සහ මරණය සෑම මොහොතකම ඉන්ද්‍රිය තුල සිදුවන්නෙකි. පෘතජන සත්වයා මෙම ඉන්ද්‍රිය මරණයෙන් එක් ඉන්ද්‍රියකට අවදි වන නමුත් සත්‍යය පහළවන විට මරණයෙන් ඉන්ද්‍රියන්ට අවදි නොවී මරණය සහ ඉන්ද්‍රිය ඉක්මවයි. ඉන්ද්‍රියන් ඉක්මවූ විට ලෝකයක් දකින්නේ නැත. මරණය ඉක්මවන බැවින් මරණයක් දකින්නේ ද නැත. සෝවාන් ඵලයෙන් පසු පුද්ගල දෘෂ්ඨියෙන් නිදහස් වන අතර කිසිම ආකාරයක සිල්වෘතයක් නැත, දර්මය සොයා යාමක් නැත. මේ පඨමං බෝධි පල්ලංකං ලෙස හඳුන්වන පළමු සතියයි.

බුද්ධ පහළවන්නේ කෙලෙස් සහිත සිතෙහි හෝ මනසෙහි නොව මරණයෙන් නිදහස් වීමෙන් බැවින් බුද්ධ කෙලෙස්වලින් තොරය. කෙලෙස් සමග බුද්ධ පහළ නොවන බව ඔබට පැහැදිලි ඇතයි සිතමි. සෝවාන්ඵලයෙදී ලෝභය ද්වේශය ආදී කෙලෙස් ප්‍රහාරණය වී නොමැති බැවින් එතන තථාගත වැඩ ඉන්නේ කෙසේද යන්න බොහෝ පෘතජන අයට ඇති ප්‍රශ්නයකි. බෝධි මූලය ලෙස හදුන්වන්නේ සත්‍යය පහළවන විට සිත සහ මන ඉක්මවන නිසයි.

මම මෙතන මරණය ලෙස හඳුන්වන්නේ සෑම මොහොතකම සිදුවන ඉන්ද්‍රිය මරණයයි (සම්මුති මරණයේදී සිදුවන්නේත් ඉන්ද්‍රිය මරණයයි). තද නින්දේදී ද ඉන්ද්‍රිය මරණය ඇත. එතන හය ඉන්ද්‍රියන් ක්‍රියාත්මක නොවෙයි (නමුත් අඩ නින්දේදී මනේන්ද්‍රිය ක්‍රියාත්මක වෙයි). බුද්ධත්වය හෙවත් සෝවාන්ඵලයෙන් පසු මරණය ඉක්මවන බැවින් තද නින්දක් ද නැත. සෑම මොහොතකම සිදුවන ඉන්ද්‍රිය මරණයද නැත. සත්‍ය සොයායන බොහෝ දෙනෙකු නොසලකා හරින නමුත් දැකීමට අවශ්‍යම ධර්මතාවයක් නම් මේ ඉන්ද්‍රිය මරණයයි. බොහෝදෙනෙක් මරණය එලෙසම තිබියදී චින්තනය සහ මන තුලින් සත්‍යය සොයති. ගවේෂණය කරන්නේ චින්තනය හරහා බැවින් ගවේෂණයෙන් ද සත්‍යය දකින්නට නොහැකිය. නමුත් අපි සත්‍ය ගවේෂණය කරන්නෙමු. යම් දවසක් සත්‍ය දකින්නේ මෙම ගවේෂණය ද අත්හැරිය පසුවයි. මම සත්‍යය දුටුවේ එනම් බෝධිමූලයේ සතිය පිහිටියේ  එතෙක් කරගෙන ආ ගවේෂණය අතහැර ටෙලිනාට්‍ය නැරඹීම ආරම්භ කල පසුවයි. නමුත් ගවේෂණය අතහැර ටෙලිනාට්‍ය බැලුවාට සත්‍ය දකින්නට නොහැකි බව ඔබට අවධාරණය විය යුතුය. තථාගත වචනය අනුගමනය කිරීම, එනම් ප්‍රතිපත්ති පුජාව සත්‍යය දකින්නට යන ගමන දුරස් කරයි.  

“දුතියංච අනිම්මිසං” ලෙස හදුන්වන දෙවන සතිය අනමිසලෝචන පුජාවයි. මෙතනදී ඇසිපිය ගැසීමකින් තොරව  පහළවූ බෝධිය දෙස බලා සිටියි.  මෙය සකෘදාගාමි මාර්ගය ට පැමිණීමේ දී සිහිය පිහිටන ආකාරයයි. ඉහත පරිචේදයේ සඳහන් කර ඇති පරිදි බුද්ධත්වයෙන් දින කිහිපයකට පසු මවිසින් අත්දැක්කේ මේ දෙවන සතියයි. ඉන්ද්‍රියයන්ගෙන් තොරව මේ සතියෙහි පිහිටන නිසා මගේ ඇසට කිසිම විඩාවක් නොතිබුණි. එමනිසා ඇසිපිය ගැසීමට අවශ්‍යතාවයක් ඇති නොවිය. එය මවිසින් අත්දකින ලද අනමිසලෝචන පුජාවයි.

තෙවන සතිය විස්තර කරන “තතියං චංකමනං සෙට්ඨන්” යනු ශ්‍රේෂ්ඨ ගමනයි. වර්ණ, සබ්ද, ඝන්ධ ආදී බාහිර පිළිගත් රුපයේ සිට ඉන්ද්‍රියන් හරහා ගමනක් ඇත. මෙම ගමන  සිදුවන්නේ ලෝභය සහ ද්වේශය ආදී කෙලෙස් සමඟයි. නමුත් සකෘදාගාමී ඵලයට වැටෙන අවස්ථාවේ සිහිය පිහිටුවන විට (එනම් සකෘදාගාමී ඵලයට පත්වන විට) ලෝභයෙන් සහ ද්වේශයෙන් තොරවූ ශ්‍රේෂ්ඨ ගමනක් ඇත. සකෘදාගාමී ඵලයේදී ද සසර ගමන නතර වී නොමැත. නමුත් මෙම ගමන ශ්‍රේෂ්ඨ වෙයි. මා මෙම සතියෙහි පිහිටියේ රුපවාහිනිය නරඹමින් සිටිනවිටදී ය. එනම් ගමනේ යෙදී සිටිනවිටදී ය. එතන ඉන්ද්‍රිය ක්‍රියාත්මක විය, රුප පෙනුන බැවින් හා එම රූප මතකයේ ඇතිබැවින් සඥාව ක්‍රියාත්මක විය, ක්‍රියාව ඇති බැවින් සංස්ඛාර ධර්ම එතන විය. නමුත් කෙලෙස් ක්‍රියාත්මක නොවීය. වේදනාවෙන් නිදහස් වීම මෙම රුවන් සක්මනේදී සිදුවෙයි.

හතරවන සතිය නම් රතනාගාරයයි. මේ අවස්ථාව ලෝභයෙන් සහ ද්වේශයෙන් තොරව ඉන්ද්‍රියන් වැසී ඇතිවිට මා ලැබූ අත්දැකීමට සමාන වෙයි. ඒ අවස්ථාවේදී ඇස ඇතුළු ඉන්ද්‍රියන් වැසී තිබුණ බැවින් ඇතුලත මනේන්ද්‍රියේ ක්‍රියාකාරිත්වය මෙම සතියෙන් පෙන්වයි. ඉන්ද්‍රිය නමැති දොරටු වැසි චින්තනයේ සිහිය පිහිටුවන බැවින් මෙය ‘රුවන්ගෙයි වාසය කිරීම’ ලෙස හැදින්වෙයි. මේ අනාගාමී මාර්ගයට පත්වීමයි. මෙය අද්විතීය තැනකි. ඉන්ද්‍රිය හරහා ගමනක් නොමැතිව වැඩ වාසය කරයි. වැඩ වාසය කරනවා යනු තවමත් චින්තනය තුල වාසය කරයි. මෙම සතියේ පිහිටන මොහොතේදී බාහිර ගමනක් නැති බැවින් මා මගේ අත්දැකීමෙන් පෙන්වා ඇති පරිදි අනාගාමී මාර්ගයට පත්වන විට බාහිර ඉන්ද්‍රිය පහම වැසි පවතියි.

අනාගාමි මාර්ගයෙන් පසු චින්තනයේ සහ මනසෙහි සිදුවන වෙනස්වීම ආශ්චර්යමත් ය. අනාගාමි මාර්ගයේ සිට ඵලය දක්වා ගමනට ප්‍රඥාව තන්හාව සහ රාගයේ ක්‍රියාකාරිත්වය උදව් වන ආකාරය උම්මග්ග ජාතකයේ පෙන්වා ඇත. මගේ අත්දැකීම් උම්මග්ග ජාතකයේ පෙන්වන එම ධර්ම වල ක්‍රියාකාරිත්වය සමග මනාව ගැලපෙයි.

රාගයේ සහ ලෝභයේ ඇති වෙනස දකින්නේ අනාගාමි මාර්ගයෙන් පසුවයි. අනාගාමි මාර්ගයෙන් පසු මනසේ පහළවන රාගය මානය ආදී ධර්ම යම් තරමකට දැකීමට හැකිය. බොහෝ ධර්ම පඬිවරු ලෝභය සහ රාගය එකම තේරුම දෙන සේ ධර්ම දේශනා කල ද ලෝභය ප්‍රධාන වශයෙන් නාමරූප වල පහළවීම නිසා ඇතිවන අතර රාගය යනු ලෝකය ඉක්මවූ ක්ලේශයකි. අනෙක් කාරණය නම් රාගය යනු සාමාන්‍ය පෘතජන පුද්ගලයින් දෙන තේරුම ඉක්මවූ ධර්මතාවයක් බවයි. මම රාගය දැකීමෙන් පසු දේශනා කරන ලද දර්ම ශ්‍රවණය කල බොහෝ දෙනෙක්  මගේ ධර්ම ශ්‍රවණය සදහටම නවතා දමා ඇත. ඒ තරමටම රාගය නමැති ධර්මතාවට වැරදි චිත්‍රයක් ධර්ම දේශකයන් විසින් ලබා දී ඇත.

සිද්ධාර්ථ සමග එකදා උපන් ධර්මතා පහක් ගැන සඳහන් වෙයි. ඒවා නම් සිද්ධාර්ථ, යශෝධරාව, ජන්න, කණ්ඨක අශ්වයා සහ බෝඇටයයි. මෙයින් කණ්ඨක අශ්වයා යනු බුරබුරා නැගෙන රාගයයි. සිදුහත් කුමාරයා නේරංජනාවෙන් එතෙර වුයේ (නොඇලෙන තැනකට පැමිණියේ) කණ්ඨක අශ්වයාගේ උපකාරයෙනි.

උම්මග්ග ජාතකයේ පෙන්වන පරිදි කේවට්ටයන්ගේ උපදෙස් පරිදි වේදේහ රජතුමා බ්‍රහ්මදත්ත රජජුරුවන්ගේ දූ කුමරිය (රාගය) සරණ පාවා ගන්නට බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ගේ රාජ්‍යට යන්නට සිත් පහළවන්නේ අනාගාමි මාර්ගයෙන් පසුවයි. එය වේදේහ රජ (තන්හාව) ගෙන්වාගෙන මරාදැමීමට කේවට්ටයා කරන උපක්‍රමයක් බව මහෝෂධ පඬිතුමා දනියි. නමුත් මහෝෂධගේ උපදෙස් පිළිනොපදින රජතුමා ගමනට සුදානම් වෙයි. එමනිසා වේදේහ රජතුමා බේරා ගැනීමට මහෝෂධ පඬිතුමා උමඟක් කනියි.
ප්‍රඥාව පහළවී රහත් ඵලය දක්වා යන ගමනේදී කෙලෙස්වල ක්‍රියාකාරිත්වය මෙයින් පෙන්වයි. රාගය මතුනොවුනේ නම් වේදේහ රජ බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ගේ රාජ්‍යට යන්න කැමති වන්නේ නැත. එසේ වුයේනම් මහෝෂධ උමඟ කනින්නේ ද නැත. සමහර අවස්ථාවලදී තන්හාව ප්‍රඥාවට එරෙහි වෙයි. වේදේහ රජතුමා මහෝෂධයන්ගේ බස් අසා දූ කුමරිය කැඳවාගෙන ඒමට නොගියේ නම් උම්මග්ග ජාතකය උමඟ කැණීමෙන් තොරවම නිමවෙයි. බොහෝ යෝගාවචරයෝ මුලිනුපුටා දැමීමට වෙර දරන රාගය ආදී කෙලෙස් රහත්ඵලය දක්වා යන ගමනට කොතරම් වැදගත් වේද යන්න මෙයින් මොනවට පැහැදිලි වෙයි.      

පස්වන සතිය අජපල් නුග රුක මුල වාසය කිරීමයි (පංචමන් අජපාලංච). එනම් අනාගාමී පලයේදී ලෝභයෙන්  සහ ද්වේශයෙන් සම්පූර්ණයෙන් නිදහස් ව රුපරාග, අරුපරාග, මාන, උද්ධච්ච ආදී මනෙහි පවතින්නාවූ කෙලෙස් සමග පවතින මෙම සතිය තුල පැවැත්ම වචනයෙන් විස්තර කිරීමට නොයන්නේ එම සතියේ ස්වභාවය තවමත් මවිසින් අත්දැක නොමැති බැවිනි.

            හයවන සතිය ‘මුචලිං දේන ජට්ඨමං’ ලෙස හදුන්වයි. හය වන සතියේ මහා වර්ෂාවක් ඇතිවන බව සදහන්වෙයි. මෙම වර්ෂාවෙන් පෙන්වන්නේ රාග ගින්න සම්පුර්ණයෙන් නිවීමයි. මුචලින්ද සුත්‍රයේ ඒ බව සඳහන් කර ඇත. ගෞතම බුද්ධ මේ සියළුම මාර්ග සහ ඵල සුත්‍ර දේශනා වලින් විස්තර කර ඇත.

ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ගමන් ගන්නා විට මාර්ග සහ ඵල සම්පුර්ණ කිරීමට රාගය ඉතා මහත් වූ කාර්ය භාරයක් ඉටු කරයි. නමුත් ප්‍රඥා ඇස පහළවෙන තෙක් මෙම ධර්ම දැකීමට නොහැකිය. එබැවින් පෘතජන යෝගාවචරයෝ රාගය යටපත් කිරීමට වෙර දරති. 
සත් වන සතියෙන් පෙන්වන්නේ රහත් ඵලයයි. රජායතනය යනු ආයතන 6 න් ( ඇස කන නාය දිව ශරීරය සහ මන) නිදහස් වී මහා ප්‍රඥාව දැකීමයි.

දැකීම තුල වචන නැත. නමුත් මෙතෙක් ඉගෙනගත් ඉන්ද්‍රිය ධර්ම (වචන) හරහා දැකීමේ ස්වභාවය විස්තර කිරීම පහසු නොවෙයි. සත්‍යය පහළවූ පමණින්ම දේශනා හැකියාව පහළ නොවන්නේ එබැවිනි. 

බුද්ධ පහළවිය - by Dr TIssa Senanayake