Google+ Followers

Monday, October 21, 2013

ළමා මනසේ වැඩීම, එහි ස්වභාව

ළමා මනසේ වැඩීම, එහි ස්වභාවය අධ්‍යයනය කිරීමට මෙම ලිපිය ඔබට පිටුවහලක් වනු ඇත.

කුඩා දරුවා ඉගෙනුම ආරම්භ කරන්නේ වචනයකිනි. වචනයක් ගොඩනැගීමට මුලික වන්නේ කන්බෙරය කරා පැමිණෙන වායු කම්පනයයි. මෙය ‘ශබ්දය’ ලෙස අපි හඳුන්වමු. වායු කම්පනයක් නොමැති කල ශබ්දයක් පැන නගින්නේ නැත. කම්පනයට විවිධ වූ සංඛ්‍යාත ඇති අතර කන්බෙරයෙහි ගැටෙන වායු කම්පනයන්ගේ විවිධ සංඛ්‍යාත, තාරතාව වැනි ගුණයන්ට මොළය ප්‍රතිචාරයක් දක්වයි. මේ කම්පනයන්ගේ ඇති විවිධත්වය නිසා එම කම්පනයට අදාළ ව මොළයේ නිර්මාණය වන විවිධ ‘ශබ්ද’ වල වෙනස ක්‍රම ක්‍රමයෙන් කුඩා ළමයා හඳුනා ගනියි. මේ වෙනස අඳුනා ගැනීමට හැකිවන්නේ විශ්ව ධර්මයක් වන සඥාව නිසයි. එය කම්පන ස්වභාවයකි. එක් ශබ්දයක් තවත් ශබ්දයකින් වෙන් කර හෝ  එක් වර්ණයක් තවත් වර්ණයකින් වෙන් කර හඳුනාගන්නේ මෙම සඥාව නමැති ධර්මය නිසයි. සඥාවේ ක්‍රියාකාරිත්වය මිනිස් මනස තුල ලෝකයක් ගොඩ නැගීමට ඉවහල් වන ‘වචන’ ගොඩ නැගීමේ මුලික පියවර වෙයි. නමුත් සඥාවෙන් දැනුම ගොඩනැගී බුද්ධි වර්ධනයක් සිදුවන්නේ නැත. තිරිසන් සත්වයා තුලත්  කුඩා ළමයා තුලත්  සඥාව නමැති දර්මය හේතුකොටගෙන වර්ණ ශබ්ද රස ඝන්ධ ස්පර්ශ ආදී වූ රූප ජායා මොළය තුල ඇතිවුවද තිරිසන් සත්වයාගේ මොළයේ වර්ධන ක්‍රියාවලිය එතනින් නවතින අතර කුඩා ළමයා සඥාව ඉක්මවා යන බැවින් වචන ඉගෙනීම හරහා දැනුමක් ගොඩනගා ගනියි. තිරිසන් සත්වයාගේ ඉන්ද්‍රිය සහ මොළයේ ක්‍රියාකාරිත්වය සඥාව ඉක්මවා නොයයි.

සඥාවෙන් ඔබ්බට යාමේ ප්‍රතිපලයක් ලෙස මිනිස් දරුවා සංස්ඛාර ධර්ම නිසා දුර සහ කාලය ගොඩනගා ගනියි.  ඇසෙන් දැක්ක දේ “මේ කුමක් ද” කියා අසා දැන ගැනීමෙන් සහ බලාපොරොත්තු තුලින් මේ සංස්ඛාර ලෝකය ගොඩනගා ගනියි. සංස්ඛාර ධර්ම නිසා ඇතිවන දුරෙන් සහ කාලයෙන් ගොඩනැගෙන ක්‍රියාව තිරිසන් සත්වයා තුල නැත. සංස්ඛාර ලෝකය පිළිගත් දරුවා තුල දැන් යම් පමණක ඉගෙනුමක් ඇත. නමුත් දරුවා තුල තවම දැනුම සම්පුර්ණ නැත. සඥාවත්, සංස්ඛාරත් පමණක් ග්‍රහණය කර ලබා ගන්නා දැනුම පරිගණකයකට සමාන කල හැක.

වැඩිහිටියකු වූ මිනිසා පරිගණකයට වඩා ඉදිරියෙන් සිටියි. එයට හේතුවන අනෙක් ධර්මතා දෙක නම් වේදනාව සහ විඥානයයි. මේ ලිපියේ වේදනාවත් විඥානයත් පැහැදිලි කිරීමට මේ ලිපිකරු අදහස් නොකරයි. නමුත් ලෝබය ද්වේශය ආදරය කරුණාව මාන්නය උද්දච්ච කම වැනි ගුණාංග මිනිසා තුල මතුවන්නේ මේ වේදනාව නමැති ධර්මතාවය නිසා බව පමණක් මෙහි සදහන් කරමි. මිනිස් සත්වයාගේ පිරිපුන් ප්‍රීතිමත් ජිවිතයකට හේතුවන්නේ වේදනාව හෙවත් වින්දනයයි. සාරාංශ කොටගත් විට මිනිසාගේ දැනුම සම්පුර්ණ වන්නේ ඉන්ද්‍රියන් වලින් නිර්මාණය කරගත් රූප ස්කන්ධයත් වේදනා, සඥා, සංඛාර සහ විඥාන නම් වූ නාම ස්කන්ධ හතරත් සමබරව උපාදානය කිරීමෙන් පමණි.

සංගීත වාදන භාණ්ඩයකින් නිකුත්වන ‘ශබ්ද කම්පනය’ යනු සඥාවක් පමණි. මෙම සඥාව උපාදානය කිරීම නිසා ශබ්ද දෙකක වෙනස හඳුනා ගැනීමට ළමයාට හැකිවෙයි. එමනිසා ළදරුවාට දරු නැළවිලි ගීතය අවශ්‍ය දෙයකි. නමුත් ළදරුවෙක් වාදන භාණ්ඩයකින් නිකුත්වන ශබ්දය පමණක් ග්‍රහණය කරන තෙක් ඔහුගේ/ඇයගේ බුද්ධිය තිරිසන් සත්වයා ඉක්මවන්නේ නැත. එතන නාමරූප තුලින් ඇති වූ දැනුම ගොඩනැගීමක් නොමැති බැවිනි. පෙර සඳහන් කල පරිදි තිරිසන් සත්වයාගේ මනසේ ස්වරුපය ද එය වෙයි. දෙවනුව භාෂාවක් හෝ ආගමක් හෝ විද්‍යාවක් ඉගෙනීම තුලින් සංස්ඛාර ධර්ම ගොඩ නැගෙයි. සම්පුර්ණ මනුෂ්‍යයෙක් බිහි වීමට නම් මීට අමතරව තමන් ඉගෙනගත් දැනුම කෙරෙහි ඇතිවන ප්‍රශ්න කිරීමත් තර්කනයත් අවශ්‍යය වෙයි. බොහෝ විට ගණිතය වැනි විෂයන් හැදෑරීමෙන් මේ සම්පුර්ණ බව ඇතිවෙයි. ඊට අමතරව පිරිපුන් මිනිසෙක් බිහිවීමට අවශ්‍යම ධර්මතාවයක් නම් ලෝභය, ද්වේශය, රාගය, මානය ආදී කෙලෙස් ය. සංස්ඛාර ධර්ම කලයකට උපමා කලොත් මෙම කලය පිරි ඇත්තේ කෙලෙස් වලිනි. මිනිස් සත්වයා තුල කෙලෙස් ස්වභාවිකව ඇතිවෙයි. විර්යය දරා උපදවා ගතයුතු නැත. නමුත් අවාසනාවකට මෙන් බොහෝ ධර්ම දේශකයෝ කෙලෙස් යනු සත්වයා විසින් මුලිනුපුටා දැමිය යුතු ධර්මයක් ලෙස සලකා කෙලෙස් ප්‍රහින කරන්නට තම අනුගාමිකයන් යොමු කරවති. එහි ප්‍රතිඵලක් ලෙස බොහෝ දෙනෙක් වීර්ය දරා කෙලෙස් ප්‍රහින කරන අතර එමගින් සංස්ඛාර නමැති කලගෙඩිය හිස් වී මනස හිස් කළයක් බවට පත්වෙයි. මෙවැන්නන් තුල ජිවත් වීමට අවශ්‍ය කෙලෙස් ධර්ම නොමැති කමින් ඉතා ඉක්මනින් කලකිරීමට පත්වෙයි. බොහෝ විට සියදිවි නසා ගැනීමට පවා පෙළඹෙයි.

කුඩා අවධියේදී ළමයා රූප වේදනා සඥා සංඛාර විඥාන නම්වූ පංච උපාදානස්කන්ධයෙන් පරිපුර්ණ වීම සඳහා ඉගෙනීමට වැඩි කාලයක් යෙදවිය යුතුය. සංගීතය, නැටුම්, භාෂාව, සාහිත්‍යය, ගණිතය, ඉතිහාසය වැනි විෂයන් සමබරව ඉගැන්විම තුලින් දරුවාගේ බුද්ධි වර්ධනය වී සියලුම නාම ස්ඛන්ධයන් (වේදනා සඥා සංඛාර විඥාන ) උපාදානය කරගත් පිරිපුන් මිනිසෙක් දරුවා තුලින් බිහිවෙයි. නමුත් මොළය අවශ්‍ය පරිදි දියුණු වී නැති ළමා අවදියේදී ‘තරුවක්’ කිරීමේ බලාපොරොත්තුවෙන් තමන්ගේ දරුවාට සංගීතය වැනි සඥාව පමණක් දියුණු කරන විෂයන්ට වැඩිකාලයක් යෙදවීමෙන් දරුවාගේ මොළයෙහි නියමාකාර වර්ධනය වීමක් පෙන්නුම් නොකරයි. බුද්ධි වර්ධනයට අවශ්‍ය භාෂා ප්‍රගුණ කිරීමට, තර්කනය දියුණු කිරීමට, කායික වර්ධනයට අවශ්‍ය ක්‍රීඩා කිරීමට අවශ්‍ය කාලය මගහැරී යයි. මෙවැනි දරුවෙකුගේ අනාගතය කෙබදු වෙයිද යන්න ඔබම සිතා බැලිය යුතුය. සඥාව පමණක් උපාදානය කිරීමෙන් ප්‍රගුණ කල හැකි දරුවාගේ සංගීත හැකියාවන් දැක සතුටුව, මේ ළමයා කුඩා අවධියේදී මෙවැනි දක්ෂතාවයක් දක්වයි නම් වැඩිහිටියෙකු බවට පත්වන විට කෙබදු වේයැයි කියමින් උදම් අනති. නමුත් මෙම ‘තරුමේනියාව’ නිසා දරුවා සඥාව තුල සිරවෙන අතර සාර්ථක මිනිසෙකු බිහි කිරීමට අවශ්‍ය අනෙකුත් ධර්මතා එනම් සංස්කාර, වේදනා සහ විඥාන උපාදානය කිරීම සිදුවන්නේ ඉතා අඩුවෙනි. එහි ප්‍රතිපලයක් ලෙස අඩු බුද්ධි වර්ධනයකින් යුතු මෙවැනි දරුවන් තුල වාදනය සහ ගායනය හැරුන කොට වෙනත් කාර්යයක් කිරීමේ හැකියාවන් මොට වී යයි. සාකච්චාවට භාජනය වියයුතු කාලින ප්‍රශ්නයක් වුවත් මෙය ප්‍රශ්නයක් ලෙස හඳුනාගත හැකි බුද්ධිමතුන් ලෝකයේ ඉතා විරලය.

තම දරුවා තරුවක් කිරීමට වැඩි කාලයක් යොමු කිරීමට දරන උත්සාහය තුල සාර්ථක බුද්ධිමත් වැඩිහිටියෙක් ඔබේ දරුවාගෙන් බලාපොරොත්තු විය නොහැකි බව මම පැහැදිලිවම කියමි. ඔබ ඔබේ දරුවාගෙන් බලාපොරොත්තු වන්නේ ළමා තරුවක් ද නැතිනම් සමාජයට වැඩදායි වැඩිහිටියෙක් ද යන දෙකෙන් එකක් තෝරාගැනීම ඔබට බාරය.  

ආචාර්ය තිස්ස සේනානායක