Google+ Followers

Monday, November 11, 2013

අසාත මන්ත ජාතකයෙන් පෙන්වන ධර්මය

අසාත මන්ත ජාතකයෙන් පෙන්වන ධර්මය

අසාත මන්ත ජාතකය මෙතනින් කියවන්න
http://www.jathakakatha.org/newhome/index.php?option=com_content&view=article&id=619:71----&catid=51:51-100-&Itemid=94

අසාත මන්ත ජාතකයට අනුව ගින්න සමග උපත ලැබූ මානවකයා ට දෙමවුපියන්ගේ ඉල්ලීම අනුව මාර්ග දෙකෙන් එකක් තෝරා ගැනීමට සිදුවෙයි.
  1. මහණ දම් පුරා බ්‍රහ්ම ලෝකයේ ඉපදීම (මෙය බමුණු මාර්ගයයි) හෝ
  2. ගිහි ගෙයි වාසය කිරීම (බුද්ධ මාර්ගයට ප්‍රවිෂ්ඨ වන ආකාරයයි).
මෙහි ගින්න නම් රාගයයි. මානවකයා යනු තරුණයෙකි. බ්‍රාහ්මණයන්ගේ අරමුණ ගිනි දෙවියන් පුදා (රාගයෙන් නිදහස් වී) බ්‍රහ්ම ලෝකයට යාමයි. එය බාහිර පිළිගත් බ්‍රහ්ම ලෝකයකි. නමුත් නිවන් මාර්ගය තුලද බ්‍රහ්ම ලෝක ඇත. යමෙක් මෙම බ්‍රහ්ම ලෝක වලට යන්නේ අනාගාමී ඵලයට පසුවයි. මානවකය දැන් සිටින්නේ  අනාගාමී පලයට ආසන්නව අනාගාමී මාර්ගයේය. එය දර්මතා දෙකකින් පෙන්වයි.
  1. මානවකය උපත ලබන්නේ ගින්නත් (රාගය) සමගයි. අනාගාමී මාර්ගයට යමෙක් වැටෙන්නේ මතු වූ රාගයෙන් චින්තනය තුල ඇති ලෝබය සහ ද්වේශය මොහොතකට නැසී යාමෙනි. මෙය ධර්මයේ සදහන් වන්නේ ‘චතුත්තං රතනාගාරං’ ලෙසයි (මෙය සත් සතිය නමැති ලිපියේ විස්තර කර ඇත). මෙම ජාතකයේද මානවකය උපදින්නේ ගින්නත් (රාගය) සමග යයි සදහන් කර ඇත.
  2. මෙම කතාවේ පෙන්වන මහළු මවගේ වයස අවුරුදු 120 ට ආසන්නයි. මෙය පරමායුෂ ලෙස හදුන්වයි. කාලය නිර්මාණය වන්නේ සිතුවිලි වලිනි. පෘතජන පුද්ගලයා ඉන්ද්‍රියන් 5 බාහිරට යොමු කර ලෝකයක් නිර්මාණය කරගෙන එම ලෝකය මනසේ තැන්පත් කර ගනියි. එබැවින් බාහිරෙන් දමාගත් අභ්‍යන්තර දර්ම 5 ක් ද ඇත. එකතුව 10 කි.  මෙය පෘතජන පුද්ගලයා තුල ඇති ආයුෂයි. ගොතම බුදුන්ගේ කාලයේ පරමායුෂ අවුරුදු 120 ක් බවත් එය 10 දක්වා අඩුවන බවත් අපි දනිමු. මෙම 10 අවුරුදු වයසැති පුද්ගලයා තුල තර්කය විතර්කය නැති බැවින් නඩු අසන්නේ විනිශ්වශාලාවේ නොව පිළගස් යටයි. එනම් එතන විනිශ්වයක් නැත. විත්තිකරු කෙලින්ම වරදකරු කරයි. සසර දුකට හේතුව තණ්හාව යයි කියන ඔවුන් තණ්හාව වැරදිකරු කරයි. සසර දුකට හේතුව චින්තනය, දැනුම, රාගය ආදී කෙලෙස් යයි කියන ඔවුන් එම දර්ම වැරදිකරු කර එම දර්ම මරාදැමීමට වීර්ය දරයි. ඔවුන් රාගය යටපත් කිරීමෙන් නිවන් දැකීමටත් මාර්ග පල ලැබීමටත් උත්සහ කරයි.

තර්කය සහ විතර්කය ඇති වන්නේ සෝවාන් මාර්ගයේ සිටයි. එවිට දස අවුරුදු ආයුෂ 20 ක් වෙයි (තර්කය සහ විතර්කය නිසා සැකය ඇතිවෙයි). මෙතැන් සිට විනිශ්වය කරන්නේ මහෝෂධ පණ්ඩිතයයි. සෝවාන් ඵලයට තවත් අවුරුදු 20 යි. පිළිවලින් සකෘදාගාමී මාර්ගයට සහ පලයට අනාගාමී මාර්ගය සහ පලයට 20  බැගින් එකතු වූ විට පරමායුෂ අවුරුදු 120 ක් වෙයි (20 වරක් 6 = 120). දිශා පා මොක් ආචාර්ය තුමාගේ මව මිය යන්නේ අවුරුදු 120 ක් සම්පුර්ණ වු විටයි. එනම් එතන පෙන්වන දර්මය නම් පුතා (සිතුවිලි) මරන්නට යන මහළු මව (චින්තනය) මියයන විට පරමායුෂ සම්පුර්ණ වී ඇති බවයි. මෙය අනාගාමී ඵලයයි. අනාගාමී ඵලයෙන් පසු චින්තනයක් නොමැති බැවින් එයින් පසු ආයුෂ අවසාන වෙයි. මෙය මෙත්තනිශංශ සුත්‍රයේ පෙන්වන සිහිමුලා නොවී මියයාමයි. මෙතැනදී සිහිමුලා නොවන්නේ තම පුතා දර කඩක් (රුපචායව) බව දැක මියයාම නිසයි. ඊට පසු උපදින්නේ බ්‍රහ්ම ලෝකයෙයි. එය අනාගාමී ඵලයයි.

දිසාපාමොක් ආචාර්ය තුමා තම මහලු මවට කවා පොවා සලකන විට අවට මනුෂයෝ පිළිකුල් කරති (බාහිරෙන් ගත් විට ද මෙය වර්තමානයේ දැන් සිදුවෙයි). මහලු මවට (චින්තනයට මියයන්නට ඉඩ නොදෙන්නේ ඇයි ද යන ප්‍රශ්නය මෙතැනදී පැනනගියි. එමනිසා මනුෂයෝ පුතාගේ ක්‍රියාව පිළිකුල් කරති. එමනිසා මවට දීමට අවශ්‍ය කෑම බිම රැගෙන පුතා මවත් සමග කැලයට යයි. කැලය නම් එකතු කරගත් දැනුමයි. පුතා (සිතුවිලි) මහලු මවට දෙන ආහාර නම් මනෝ සංචේතනායි. එය කැලයට එනවිට රැගෙන ආ ආහාර බැවින් පිලිණුය. මව මහලු බැවින් (චින්තනය ඉතා දුර්වල බැවින්) මෙම පිළුණු ආහාර වලින් රාගය මතු නොවෙයි.

මේ වනවිට අසාත  මන්ත්‍රය ඉගෙන ගැනීම සදහා තරුණයා (ඔහුගේ දෙමවුපියන් විසින්) ගුරුවරයා වෙතට යවයි.    මෙතන ඔවුන් කරන්නේ ද ප්‍රයෝගයකි. දෙමවුපියන්ට අවශ්‍ය තම පුතා බ්‍රහ්ම ලෝකයට (අනාගාමී පලයට) යැවීමයි. නමුත් ඔවුන් කරන්නේ ගිහිගෙයි ජිවත් වීමට අවශ්‍ය දර්ම ඉගෙන ගැනීමට ගුරුවරයා ලගට යැවීමයි. නිවන් දැකීමට කැමැත්තෝ තුල මෙම ප්‍රයෝගය තිබිය යුතුය. මෙය කාල-ගෝල කතාවේද පෙන්වයි. කාලගෝල ගගෙන් එතර වන්නට යන්නේ අම්මා තාත්තා බලන්නටයි. නමුත් සිදුවන්නේ කුමක්ද? දික්පිටියා දික්තලා ඔසවාගෙන ගියපසු කාලගෝල ගගෙන් එගොඩ වන්නේ අම්මා තාත්ත බලන්නට නොව දික්තලා සොයාගෙනය. අම්ම-තාත්ත (නාම-රුප) සොයාගෙන යන කිසිම කෙනෙකුට  සත්‍ය දකින්නට නොහැකිය. ඉතා ඉක්මනින් සත්‍ය දැකීම සදහා නොවරදවාම දර්මය අසන්නොත් සත්‍ය නොදකින්නේ එබැවිනි.

අසාත  මන්ත්‍රය ඉගෙන ගැනීමට පැමිණෙන මානවකයාට ගුරුවරයා කියන්නේ තම මව රැකබලා ගන්නා  ලෙසයි.  මානවකය මහලු මවට කවන්නේ පොවන්නේ අලුත් ආහාරයි. එනම් පස්සයයි. තව විදියකින් කියනවා නම් ඉන්ද්‍රිය පිනවීමයි. එවිට රාගය මතුවෙයි. මහලු මවට නැගී සිට පොරොව අතට ගෙන තම පුතා මැරීමට අවශ්‍ය ශක්තිය ලැබෙන්නේ රාගයෙනි. අවසානයේදී තම පුතා දර කොටයක් බව දැක මව මියයයි. චින්තනය ප්‍රහාරණය වෙයි. නමුත් සිතුවිලි මැරෙන්නේ නැත. නමුත් බොහෝ දෙනෙක් සිතුවිලි නැති කර නිවන් දැකීමට වලිකයි. ඔවුන් සිතන්නේ ඉන්ද්‍රිය සන්තර්පණය සත්‍ය කරා යන ගමනට බාදාවක් බවයි. පස්සය සහ මනෝ සංචේතනා නමැති ආහාර තවමත් ඇත. මානවකයා අවසානයේ බ්‍රහ්ම ලෝකයේ උපදියි. මෙය අනාගාමී ඵලයයි. ගර්භාවාසයෙන් නිදහස් ය. 

සෝවාන් පලයට වැටුන කිසිවෙක් කෙලෙස්  තුනී කරමින් අනෙක් මාර්ග සහ පල වලට එන්නට දර්මය ඇසීම හෝ එවැනි කිසිම කාර්යක් කරන්නේ නැත. යමෙක් එවැනි දෙයක් කරන්නේ නම් එවැන්නෙක් දර්ශනයට පැමිණි අයෙක් ද නොවෙයි. දර්ශනය තුල කල හැකි කිසිවක් නැත. දර්ශනයත් සමග කරන්න දෙයක් නැති බව දකියි. එය පිළිගැනීමක් නොවෙයි. මාර්ග සහ පල වලට ඒම සදහා දර්මය අසන්නේ පෘතජන අයයි.

අසාත මන්ත්‍ර ජාතකයෙන් පෙන්වන්නේ ගිහිගෙයි වාසය කරන්නා පමණක් (ඉන්ද්‍රියන් පිනවීම මගින්) රාගය මතු කරගෙන නිවන් දකින බවත් රාගය ආදී කෙලෙස් මතු කර නොගෙන රහත් පලය දක්වා ගමනක් යා නොහැකි බවයි. කාලගෝල කතාවට අනුව ද කාලගෝල දික්තලා සොයාගෙන ගගට පනින්නේ  “රැකෙම්වා හෝ මියෙම්වා” යයි සිතමිනි. රාගය ආදී කෙලෙස් තුනී කල අයෙක් මෙසේ “රැකෙම්වා හෝ මියෙම්වා” යයි සිතමින් අඹුව සොයාගෙන ගගට පනින්නේ නැත. රාගය ආදී කෙලෙස් තුනී කරමින් සත්‍ය සොයා යන්නෝ බමුණු ධර්ම අනුගමනය කරන්නෝ වෙති. කෙලෙස් දකින්නෝ පමණක් බුද්ධ දකිති. දකින්නට පෙර කෙලෙස් යටපත් කළහොත් කුමක් දකින්නද? ඒ සමගම බුද්ධ සොයා යන්නන්ට බුද්ධ දකින්නට බැරි බවත් අසාත මන්ත ජාතකයෙන් හා කාලගෝල කතාවෙන් පෙන්වයි.

තිස්ස සේනානායක