Google+ Followers

Monday, November 18, 2013

කර්මය


බොහෝ දේශකයන් වහන්සේලා තමන් විසින් කරන කර්මයක් සහ එහි විපාකයක් ගැන දේශනා කළද තථාගත දර්ශනයට අනුව කර්මය කරන්නෙක් සහ විපාක විඳින්නෙක් නැත (කර්මස්ස කාරකෝ නත්ථි විපාකස්සක වේදකෝ). ලෞකික ධර්ම වලට අනුව කර්ම කරන්නේ පුද්ගලයෙකි, විපාක විඳින්නේද පුද්ගලයෙකි. නමුත් තථාගත දේශනාව නම් “යේ ධම්මා හෙතුපභාවා ...” ආදී වශයෙන් වූ සත්ව පුද්ගල දෘෂ්ඨියෙන් තොර වූ හේතුඵල ධර්මයකි. හේතුඵල ධර්මයක් තුළ පුද්ගලයෙක් විසින් කරනු ලබන කර්මයක් සහ එහි විපාකයක්  තිබිය හැකිද? කර්ම කරන්නෙක් සහ විපාක විදින්නෙක් ගැන කථා කරන ධර්මයක් තථාගත ධර්මයක් ද?

එක් අයෙක් කර්ම සහ කර්මඵල පිළිගනියි, තව අයෙක් කර්ම සහ කර්මඵල නොපිළිගනියි. එබැවින් ගෞතම බුද්ධ ඒ කාලයේ මුල් බැසගෙන තිබු කර්මය ප්‍රතික්ෂේප කලේ නැත. කර්මය ප්‍රතික්ෂේප කිරීමෙන් වන්නේ වෙනත් දෘෂ්ඨියකට වැටීමයි. ‘එහිපක්ෂිකෝ’ ගුණයෙන් යුත් තථාගත දර්ශනය තුළ ලෞකික ධර්මතාවයන් ප්‍රතික්ෂේප නොකරන්නේ එහෙයිනි. ධර්ම ප්‍රතික්‍ෂේප කිරීම වෙනුවට මනුෂ්‍යයා විසින් පිළිගත් ලෞකික ධර්මතා සත්‍ය දකින්නට යොමු කරවයි. එය ඉන්ද්‍රියන් ඉක්මවා කර්මය දැකීමක් බැවින් එතන පිළිගැනීමක් හෝ ප්‍රතික්‍ෂේප කිරීමක් නැත. තථාගත ධර්මය ප්‍රඥාවන්තයින් සඳහා පමණක් වන්නේ එබැවිනි. ප්‍රඥාවන්තයා යමෙක් දේශනා කරන ධර්මය පිළිනොගෙන ධර්මය සම්බන්ධයෙන් සැක ඇතිකරගෙන සත්‍යය ගවේෂණයක් කරයි. ධර්මය පිළිගත් විට ගවේෂණය නතර වන බව ප්‍රඥාවන්තයා දකියි. මේ සත්‍ය ගවේෂණය මෙතෙක් පිළිගත් ලෞකික ධර්ම තුළින්ම ආරම්භ කළ යුතුය. ධර්මධරයින් කරන්නේ බුද්ධ වචනය තමන් පිළිගත් ධර්මතාවයන්ට සම්බන්ධ කර මෙතෙක් පිළිගත් ධර්මතා සත්‍ය බව තහවුරු කර ගැනීමයි. ඥානවන්තයා තුළ ලෞකික ධර්ම කෙරෙහි සැක ඇතිවෙයි. ප්‍රඥාවන්තයා ලෞකික ධර්මතා තුළ සත්‍ය නොමැති බව දකියි.

‘තථාගත’ ලෝකෝත්තර වුවත් තථාගත වචනය තමන්ගේ කනට වැටෙන්නේ ලෞකික ධර්ම හරහා බැවින් ඔබට‍ ඇසෙන බුද්ධ වචනය ද දෘෂ්ඨිගතය. ඥානවන්තයා දෘෂ්ඨි සහගත බුද්ධ වචනය කොහෙත්ම පිළිනොගනියි. ‘බුද්ධ’ යනු පුද්ගලයෙක් නොවන බැවින් ප්‍රඥාව පහල වූ තැනැත්තා තමන් තුළින්ම බුද්ධ පහල වෙන තෙක් සැකය හරහාම සත්‍ය ගවේෂණය කරයි. ප්‍රඥාව පහල වූ ඥානවන්තයා බුද්ධ දකින තෙක් අසන ධර්මය කෙරෙහි සැක පහල කරගන්නා බැවින් අසන ධර්මය කුමක්ද යන්න ගැටලුවක් ද නොවෙයි. තමන් මුළාවට පත් වුයේ ධර්මය සරණ යාම නිසා බව දකින ප්‍රඥාවන්තයා ධර්මය සරණ නොයයි.  

තථාගත දර්ශනයට අනුව “චේතනාහං භික්ඛවේ කම්මං වදාමි” යන පාඨයෙන් දැක්වෙන පරිදී චේතනාවම කර්මය වෙයි. ධර්මධරයාට මේ බුද්ධ වචනය තවත් දෘෂ්ඨියක් පමණි. ඒ කියන්නේ ඔවුන් තමන් විසින් අසා දැනගත් ධර්මය බුද්ධ වචනය හරහා ප්‍රත්‍යක්ෂ කර ගනියි. ඔහු බුද්ධ වචනය තමන් පිළිගත් ධර්මයන්ට අනුකුල වන පරිදි තේරුම ගනියි. ඒ කෙසේද? ධර්මධරයා තුළ ඇති ධර්මයට අනුව හොඳ චේතනාවෙන් කුසල කර්ම රැස්කරයි, නරක චේතනාවෙන් අකුසල කර්ම රැස්කරයි. එවිට බුද්ධ වචනය වූ “චේතනාහං භික්ඛවේ කම්මං වදාමි” යන්න තමන් පිළිගත් ධර්මයට මනාව ගැලපෙයි. පුද්ගල දෘෂ්ඨියෙන් පෝෂණය වූ ධර්මධරයා තුළ කර්මය කරන්නෙක් ඇත, විපාක විදින්නෙක් ඇත. නමුත් “කර්මස්ස කාරකෝ නත්ථි විපාකස්සක වේදකෝ” යන්න බුද්ධ වචනය තුළ කර්ම කරන්නෙක් නැත. එසේ වුවත් ධර්මධරයා ධර්මය සැක කිරීමට ඇති බිය නිසා මෙම පරස්පර ධර්මතා දෙකම සැකයකින් තොරවම පිළිගනියි. එක් අවස්ථාවකදී කර්මය කරන්නෙක් හෝ විපාක විදින්නෙක් නැතැයි කියන මේ ධර්මධාරීන් තවත් අවස්ථාවකදී බුදුන්ටත් කර්මය පටවති. නමුත් ඥාණවන්තයා තුළ මෙම ධර්මතා කෙරෙහි සැක ඇතිවෙයි. ධර්මධරයා පිළිගැනිම තුළ නතර වුවත් ප්‍රඥාව පහල වූ ඥාණවන්තයා සැකය හරහා සත්‍යය ගවේෂණය කරයි. තවත් සමහර ප්‍රඥාව පහල නොවූ ධර්මධාරීන් ඉන්ද්‍රියන් වලින් නිර්මාණය කර ගත් ධර්මය මිත්‍යා දෘෂ්ඨියක් බව පිළිගෙන පුද්ගලයෙක් නොමැති බැවින් කර්ම කරන්නෙක් සහ විපාක විදින්නෙක් නැතැයි බුද්ධ වචනය පිළිගෙන නතර වෙයි. මේ දාර්ශනිකයෝ තුළත් සත්‍ය ගවේෂණයක් නැත. ඒ වෙනුවට පිළිගත් බුද්ධ සහ බුද්ධ වචනය කෙරෙහි ශ්‍රද්ධාවක් පමණක් ඇත. ඔවුන් සත්‍ය දකින්නේ ද නැත.

ධර්මධරයා ධර්මය පිළිගෙන නතර වුවද ඥානවන්තයා සැකය හරහා නොනැවතී සත්‍ය ගවේෂණයක යෙදෙයි. චේතනාව කර්මය වුවත් ලෞකික ධර්මයට අනුව පුද්ගලයා ක්‍රියාවට චින්තනය ඇදාගෙන කර්ම කිරීමක් ගැන දේශනා කරයි. කර්මයට හේතු වන්නේ ක්‍රියාවට පෙර චේතනාවද ක්‍රියාව කරන විට ඇතිවන චේතනාවද ක්‍රියාවෙන් පසු ඇතිවන චේතනාවද නැති නම් ඒ තුන් ආකාරයමද යන්න  ප්‍රඥාව පහල වූ ඥානවන්තයා ප්‍රශ්න කරයි.

බොහෝ දේශකතුමන්ලා තමන් කරන ලද කර්මයේ විපාක අනාගතයේ ලැබෙන බව සදහන් කරයි. කර්ම කිරීම  චේතනාව නිසා ඇති වූ බව මේ උතුමන් පිළිගන්නා නමුත් කර්මයේ විපාකය චේතනාව නිසා ඇතිවන්නක් බව කියන්නේ නැත. චේතනාව කර්මය වෙයි නම් කර්ම විපාකයද චේතනාව නිසාම වියයුතු බව ඥානවන්තයා කෙරෙහි සැක ඇතිවෙයි. චේතනාව නිර්මාණය වනුයේ දරාගෙන උසුලාගෙන සිටින ධර්මයේ ඵලයක් ලෙසයි. තව විදියකින් කියනවානම් කර්ම විපාකය ද චේතනාව වන බැවින් විපාකය ඇතිවන්නේ ද ධර්ම පිළිගැනීම නිසයි. පිළිගත් ධර්මයක් නැති තිරිසන් සත්වයා තුළ කර්ම විපාකයක් නැත. පිළිගැනිම යනු දෘෂ්ඨියක් බැවින් කර්ම ඵලය ද දෘෂ්ඨියකි. එනම් කර්ම ඵලය තමන්ගේ දෘෂ්ඨිමය චේතනාවේ ඵලයකි.

“.....කම්මස්සකෝම්හි, කම්ම දායාදෝ, කම්ම යෝනි, කම්ම බන්ධු, කම්ම පටිසරණෝ යං කම්මං කරිස්සාමිකල්‍යානං  වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සාමිනි.....” යන බුද්ධ වචනය දෘෂ්ඨියෙන් පිළිගත් ධර්මධාරීන් කර්මයෙන් නිදහස් වීමට නොහැකි බව දේශනා කරමින්  බුදුන්ටත් කර්මය  පටවති. චේතනාව කර්මය වන්නේ නම් චේතනාවෙන් නිදහස් වූ පුද්ගල දෘෂ්ඨියෙන් නිදහස් වූ ‘බුද්ධ’ කර්මයට අසුවන්නේ කෙසේ ද? ‘බුද්ධ’ චේතනාවෙන් නිදහස් බැවින් කුසල කර්ම සහ අකුසල කර්ම යන අන්ත දෙකෙන්ම නිදහස්ය. නමුත් දෘෂ්ඨිය පිළිගන්නා පෘතග්ජන පුද්ගලයා ගේ කර්ම ඵලය තමන්ගේ චේතනාව අනුව වෙනස් වෙයි. තමන්ට සිදුවූ හානියක් අකුසල විපාකයක් කර නොගෙන කුසල කර්ම විපාකයක් කර ගන්නා අය ද සිටිති. 
   
දෘෂ්ඨිය යනු සත්‍ය නොවෙයි. සත්ව පුද්ගල දෘෂ්ඨිය සහිත චේතනාවෙන් කර්මය උත්පත්තිය ලබයි (කර්ම යෝනි). දෘෂ්ඨිමය චේතනාවෙන් කර්මය තමන්ගේ යහළුවෙක් කරගනියි (කර්ම බන්ධු). මුළාවක් වූ චේතනාවෙන් කර්මය තමන්ගේ දායාදයක් කරගනියි (කර්ම දායාදෝ). එය ඔබ ඉල්ලා ලබාගත් දායාදයකි. එය තමන්ගේ දායාදයක් කර ගනියි. කර්මය දායාදයක් නොකර ගත්තේ නම්  කර්ම ඵලයක්‌ නැත. අවසානයේදී මේ කර්මය පව් පින් ලෙස තමන්ගේ දෘෂ්ඨිමය චේතනාවෙන් බෙදා ගනියි. උදාහරණයක්‌ ලෙස අපේ දායකයෝ ගමේ පන්සලේ හාමුදුරුවන්ට බුලත් පුවක් හුණු දුන්කළ ආදී දැහැත්  සපයා කර්ම රැස් කරයි. ඔබගේ ධර්මයට අනුව එය කුසල කර්මයකි. කාලයාගේ ඇවැමෙන් දායකයන්ගේ දැහැත් වළදා උන්වහන්සේට මුඛ පිළිකා සෑදුන කළ තමන් කරන ලද කුසල කර්මය අකුසල කර්මයක් වෙයි. කර්මය අකුසල ද කුසල ද යන්න ද සාපේක්ෂ දැනුමේ ඵලයක් බව ඔබට නොපෙනේද? එනම් පින්පව්  කුසල් අකුසල් යනු දෘෂ්ඨියක් පමණි. මෝහයට පත් පුද්ගලයෝ නිවන් දැකීම සඳහා වෙර දරන්නේ මෙම මිත්‍යා දෘෂ්ඨික සාපේක්ෂ කුසලයේ අනුභාවයෙනි.        

තථාගත 

By DR Tissa Senanayake