Google+ Followers

Wednesday, December 11, 2013

කාලාම සූත්‍රය



කාලාම සූත්‍රයේ නිධාන කතාව හෝ එහි යට ගියාව පසෙක තබා එම සූත්‍රයෙන් පෙන්වා දෙන ධර්මය කුමක්ද යන්න සාකච්ඡා කිරීම මෙම ලිපියේ අරමුණයි. විවිධ පුද්ගලයින් දේශනා කරන ධර්ම පිළිපැදීමෙන් දුකට පත්වූ කාලාම වැසියන් උදෙසා මේ දේශනාව කර ඇත. මෙම සූත්‍රයේ නිධාන කථාවෙන්ම පෙන්වා දෙන්නේ ධර්ම පිළිගැනීමෙන් යමෙක් දුකට පත්වන බවයි. එබැවින් වර්තමාන කාලයට මෙම සූත්‍රය තරම් වැදගත් සූත්‍රයක් තවත් නැත. බුදුන් වහන්සේ කරුණු 10 කින් පිළිගැනීම විවාදයට භාජනය  කරයි.  එය කාලාම සූත්‍රයේ මෙසේ දක්වා ඇත.

ඇසීමෙන් පමණක්

පරම්පරාවෙන් ආ බව කීම

පොත් පත්වල සඳහන් වූ පමණින්ම

මෙසේ යැයි කී පමණින්

ශ්‍රමණයින් කී පමණින්

සුදුසුකම් සැලකීමෙන්

තර්කයට එකඟ බැවින්

න්‍යායට එකඟ බැවින්

එහෙම නිසා

තම දෘෂ්ටියට එකඟ නිසා පිළිගැනිම

ඉහත දැක්වෙන දස ආකාරයකට ධර්මය පිළිගැනිමෙන් මිනිස් සත්වයා දුකට පත්වෙන බව මෙම සූත්‍රයෙන් පෙන්වා දෙයි. මේ දස ආකාරය හැරුන විට ධර්මය පිළිගත හැකි වෙනත් ආකාරයක් තිබේදබොහෝ දේශකයන් වහන්සේලාගේ ධර්මයට අනුව, අසන දේ තමන්ගේ බුද්ධියෙන් පරීක්‍ෂාකර බලා පිළිගත යුතු බව බුදුදහමෙහි එන මූලික ඉගැන්වීම බව කියවෙයි. තමන්ගේ බුද්ධිය නිර්මාණය වී ඇත්තේද අනුන්ගෙන් අසා පිළිගත් ධර්ම වලිනි. එවිට එය තම දෘෂ්ඨියට එකග වූ පිළිගැනීමකි (අංක 10). පිළිගත් ධර්මයක් නැති කළ එතන දැනුමක් නැත, බුද්ධියක් නැත. අනෙක් අතට තමන්ගේ බුද්ධියෙන් පරික්ෂා කරන්නේද තර්කයෙනි. එවිට එතන පිළිගන්නේද තර්කයට එකග වන බැවිනි (අංක 7).

 

බෞද්ධයන් වන බොහෝ දෙනෙක් නිවන් දැකීමේ පරමාර්ථයෙන් පන්සිල් අටසිල් ආදී සිල්වෘත ද විවිධ භාවනා ක්‍රම ද අනුගමනය කරන බව අපි දනිමු. මෙම ශීලවෘත සහ භාවනා ආදී විවිද ක්‍රියාකාරකම් ගුරුවරුන්ගෙන් අසා දැනගෙන පිළිගත් ධර්ම වෙයි. එම ධර්ම අනුගමනය කරන්නේ පිළිගැනීමෙන් බැවින් භාවනා ආදී පිළිවෙත් කිරීම කාලාම සූත්‍රයට එකගද නැද්ද යන බව ඔබගේ ප්‍රඥාවෙන් මතුවිය යුතු ප්‍රශ්නයකි. මගේ පිළිතුර වැදගත් නොවන්නේ මා  කියන දේ පිළිගැනිමෙන් ද සංසර ගමනින් නිදහස් වීමක් නැති බැවිනි. අනෙක් අතට කාලාම සූත්‍රයෙන් කියවෙන ධර්මයද පිළිගැනීම නිවනට බාදාවකි.

 

යමෙක් යම් දේශකයකු ගේ ධර්මයක් ප්‍රතික්‍ෂේප කරයි නම් එයින් ගම්‍ය වන්නේ ඊට ප්‍රතිවිරුද්ධ වූ යම් ධර්මතාවයක් පිළිගන්නා  බවයි. ධර්මය පිළිගැනීමක් හෝ ප්‍රතික්‍ෂේප කිරීමක් නැති තැන ඉතිරි වන එකම ධර්මය සැකයයි.

 

ඇස, කන, නාසය, දිව, ශරීරය සහ මන ආදී ෂඩ් ඉන්ද්‍රියන් හරහා ගොඩනගා ගන්නා  වූ සත්‍යයට අපි සම්මුති සත්‍යයයි කියමු. සම්මුතිය යනු පිළිගත් ධර්මයක් බැවින් තවත් ආකාරයකට කාලාම සූත්‍රයෙන් දේශනා කරන්නේ ද මෙම සම්මුති සත්‍යයෙන් නිවන් දැකිය නොහැකි බවයි. එනම් නිවන් දැකීමට නම් සම්මුති සත්‍යයෙන් නිදහස් විය යුතුමය. සම්මුතියෙන් නිදහස් වන්නේ කෙසේද? පිළිගැනිම සිදුවන්නේ ඉන්ද්‍රියන් හරහා බැවින් සම්මුතිය වැරදි යයි පිළිගැනීමෙන් සම්මුතියෙන් නිදහස් විය නොහැකිය. එබැවින් සම්මුතියෙන් නිදහස් වීමට ඇති එකම මාර්ගය සම්මුතිය තුල පැන නගින්නා වූ සැකයයි.

 

පරම සත්‍යය ඉන්ද්‍රිය ගෝචර නොවන බැවින් ඉන්ද්‍රිය පිළිගැනීම තුළින් පරම සත්‍යය දැකිය නොහැකිය. ඉන්ද්‍රියන් ඉක්මවූ විට එතන තව දුරටත් ධර්මයක් නොමැති බැවින් පරම සත්‍යය ධර්මයෙන් ද තොර වෙයි. එමනිසා සත්‍ය දැකීම යනු සම්මුතියෙන් නිදහස් වීම විනා  අන් ධර්මයක් නොවෙයි.

 

ධර්මය කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගන්නා තැනැත්තා ගුරුවරයා දේශනා කරන්නාවූ ධර්මය ඒ ආකාරයටම පිළිගනියි. එවිට දේශකයාත් අසන්නාත් ඉන්ද්‍රියන් නොඉක්මවන බැවින් දෙදෙනාම සසරින් එතෙර වන්නේ නැත. දේශනාව කෙරෙහි සැකයෙන් බලන විට එතන ශ්‍රද්ධාවක් ඇති නොවෙයි. නමුත් දේශනාව ප්‍රතික්ෂේප කිරීමක් ද නොමැති බැවින් ධර්ම ශ්‍රවණය ද නොකඩවා සිදු කරයි. යම් මොහොතක ඉන්ද්‍රියන් ඉක්මවා ප්‍රඥාව පහල වෙයි. ඉන්ද්‍රියන් ඉක්මවූ විට එතන කිසිම දෘෂ්ඨියක් නැත. සක්කාය දෘෂ්ඨියෙන් නිදහස් වෙයි. එතන තව දුරටත් දේශනා  කරන්නට ධර්මයක් නැත. කායික සහ මානසික  වීර්යයක් නොමැති බැවින් කිසිම ආකාරයක සිල්වෘතයක් හෝ භාවනාවක් ද නැත.

 

පැහැදිලිවම කාලාම සූත්‍රයෙන් පෙන්වන ධර්මය දැකිය හැක්කේ ප්‍රඥාව පහල වූවෙකුට පමණි. ප්‍රඥාව පහල වුවෙක් අනුන්ගෙන් අසා දැනගත් ධර්මයක් කිසිම ආකාරයකින් පිළිගන්න යයි දේසනා කරන්නේ නැත. ඒ ඇයි? යමෙක් ප්‍රඥාව පහල වී මරණයෙන් නිදහස් වන්නේ අනුන්ගේ ධර්මයක් අසා එම ධර්මය පිළිගැනීමෙන් නොවෙයි, නොපිළිගැනීමෙන්ද නොවෙයි. ප්‍රඥාව පහල නොවූ පෘතග්ජන යම් කෙනෙකුට මෙය උභතෝකෝටික  ප්‍රශ්නයක් බව මම දනිමි.

 

සැකයකින් තොරවම ධර්ම පිළිගෙන ශ්‍රද්ධාව ඇති කර ගැනීමෙන්  නිවන් සොයන්නට වීර්ය දරන අය ධර්මය කෙරෙහි සැක ඇතිකර ගැනීම භයානක පාප කර්මයක් ලෙස සලකයි. එය බොහෝ ගුරුවරුන්ගේ ඉගැන්වීමයි. ධර්ම පිළිගැනීම සසර ගමනට හේතු නොවන්නේ ද? දුකට හේතු නොවන්නේ ද? මෙම ප්‍රශ්න වලට පිළිතුරු ඔබ යම් දවසක ඉන්ද්‍රියන් ඉක්මවා දකියි. එවිට මොහොතක පමාවකින් තොරවම මරණයෙන්  නිදහස්‌ වෙයි.  

 

By Dr Tissa Senanayake