Google+ Followers

Saturday, December 14, 2013

මිථ්‍යාදෘෂ්ටියට වැදහෝනා අඥාණ සමාජයක් ගොඩනගන බලගතු ආගමික සංස්ථා


බුදු දහම වචන වලින් විස්තර කළ නොහැකි, වචන ඉක්මවා ගිය ධර්මයකි. බුදු දහම සත්‍ය දහමක් වන්නේ ද එය වචන වලින් තොර බැවිනි. වචන වලින් නිර්මාණය කරන ලද සියලූම ධර්ම වලින් ධර්මාවබෝධය ලැබෙනවා මිස සත්‍ය දැකීමට නොහැකි ය. අවබෝධය යනු අනුන්ගෙන් අසා හෝ පොත්පත් වලින් දැනගත් ධර්මයකි. එම ධර්ම වචන හරඹයක් පමණි. එනිනෙකාට සාපේක්‍ෂ වූ ධර්ම වෙයි.

ධර්මය දැකීම එකකි, ධර්ම අවබෝධය තව එකකි. දැකීමෙහි පිළිගැනීමක් නොමැති අතර අවබෝධය ලබන්නේ සම්පූර්ණ පිළිගැනීමෙනි. සත්‍යයට මාර්ගය යනු ධර්ම දැකීම මිස ධර්ම අවබෝධය නොවන බැවින්, ධර්මය දැකීමට පාලි ඉගෙන ගැනීම හෝ ත‍්‍රිපිඨකයට අනුවම වචන වල අර්ථ හැදෑරීම අවශ්‍ය නැත. ‘මාර්ගඵල’ යනු ධර්මාවබෝධය ඉක්මවා ගිය තැනකි. ධර්මාවබෝධයෙන් ප‍්‍රඥාව දකින්නට නොහැකිය. ප‍්‍රඥාව යනු සියලූ දැනුම හෙවත් පංචස්කන්ධය ඉක්මවා ගිය තැනකි. එය වචනයෙන් විස්තර කළ නොහැකිය. මාර්ගඵල යනු කුමක්දැයි පැහැදිලි කිරීමට මම උත්සාහ නොකරමි. ඒ ‘විස්තර කිරීම’ අසන්නාට ‘ධර්මාවබෝධයක්’ පමණි. එයින් අසන්නා මුළාවට පත් වෙයි. උදාහරණයක් ලෙස කියනවා නම් රහතන් වහන්සේලා සම්පූර්ණයෙන් කෙලෙස් ප‍්‍රහීන කළ ඇත්තෝ වෙති. මේ බව දන්නා යෝගාවචරයින් කරන්නේ ව‍්‍රත රකිමින් හා භාවනා කරමින් මනසෙහි ඇති කෙලෙස් තැවීමයි. කෙලෙස් තැවීමේ ප‍්‍රමාණයට අනුව මෙම යෝගාවචරයෝ රහත් ඵලයට ආසන්න යයි සිතති. ‘බුද්ධ’ යනු කෙළෙස් ප‍්‍රහීන කීරීමේ මාර්ගයයි, නමුත් කෙලෙස් තැවීම යනු ‘බුද්ධ’ මාර්ගය නොවේ. ප‍්‍රමේය සත්‍ය වුවත් එහි විලෝමය සෑම විටම සත්‍ය නොවන බව ගණිතය ඉගෙන ගන්නා ශිෂ්‍යයින් දන්නවා ඇත. බුදුන් වහන්සේලාට සහ රහතන් වහන්සේලාට කියා නිම කළ නොහැකි ගුණ සමුදායක් ඇත. නමුත් මෙම ගුණ පෘතග්ජන පුද්ගලයකුගේ මෙන් පුරුදු පුහුණු කළ, ‘දැනුමෙන්’ මතුවන ගුණ සමුදායක් නොවේ. ‘ඉවසීම’ අප විසින් පුරුදු කරන යහපත් ගුණාංගයක් නමුත් රහතන් වහන්සේ කෙනෙකුට ‘ඉවසීම‘ නැත. කෙලෙස් සහිත අපි ‘මෙත්තා’ කරුණා මුදිතා උපේක්‍ෂා’ පුරුදු පුහුණු කරන්නෙමු. මෛත‍්‍රිය යනු කෙලෙස් සහිත ධර්මයකි. නමුත් රහතන් වහන්සේලාට කෙලෙස් නොමැති බැවින් එතුමන් ලා තුළ මෛත‍්‍රියක් නැත, කරුණාව ද නැත. කරුණාව ද කෙලෙස් සහිත ධර්ම වෙයි. නමුත් අනෙක් අතින් බැලූ විට, බුදුන් වහන්සේ හෝ රහතන් වහන්සේ කෙනෙකුගේ ‘කරුණාව’ නැමති ගුණය වචනයෙන් විස්තර කළ නොහැකි තරම් ය. බුදුන් වහන්සේට සතුරෙක් හා මිතුරෙක් නොමැති බැවින් සියල්ලන්ට ’නොබෙදා’ මෛත‍්‍රිය කළ හැක. අපි ළඟ ඇත්තේ ‘බෙදන’ මෛත‍්‍රියකි. අපි සතුරාට දිනපතා මෛත‍්‍රි කරන්නෙමු. නමුත් මියයන තුරුම සතුරා අපේ මනසෙහි ඇත. අප විසින් කළ යුත්තේ සතුරාට මෛත‍්‍රිය කිරීම නොව සතුරා මරා දැමීමයි (සතුරා මිතුරකු කර ගැනීමයි).

ලෝකයේ සියලූම ධර්ම බිහි වී ඇත්තේ කුඩා කාලයේ සිටම අනුන්ගෙන් ඉගෙන දැනගත් දැනුමෙනි. ජීවිතය පවත්වාගෙන යාමට මහෝපකාරී වුවත් මිනිස් සත්ත්වයාගේ දුකට හේතු වන්නේ ද, මෙම දැනුමයි. රජසැප විඳිමින් සිටි සිදුහත් කුමරුට ද දිගටම රජසැප විඳීමට බාධාවක් වූයේ මෙම ජාති, ජරා, ව්‍යාධි හා මරණ ආදී මෙම දැනුමයි. සිදුහත් කුමාරයා රජකම අතහැර කැලෑ වැදුණේ ජරා ව්‍යාධි හා මරණ නැති තැනක් සොයාගෙන ය. එතුමාණෝ දුක, දුකට හේතුව, දුක නැතිකිරීම හා දුක නැති කිරීමේ මාර්ගය දැක දුක කෙළවර කර ගත් හ.

සත්‍ය දකින්නේ එක් වරකි. නමුත් ඒ සඳහා අනාදිමත් කාලයක සිට මිනිසා සත්‍ය ගවේෂණය කරයි. සිදුහත් තව්සා ද මුලින්ම ආලාරකාලාම උද්දකරාමපුත්ත පස්වග මහණුන් වැනි එදා සිටි පණ්ඩිතයන්ගෙන් ධර්මය ඉගෙන ගත්තේය. මෙම පණ්ඩිතයන්ගෙන් විවිධ වූ ව‍්‍රත ක‍්‍රම ඉගෙන ගෙන ඒවා ක‍්‍රියාත්මක කළේ ය. මෙම පණ්ඩිත සේවනයෙන් සිදුහත් තව්සාට කාලය ගත විය, උදරයේ සම පිටට ඇලී ගියේ ය. මරණයට ආසන්න වී යන්තම් දිවිගලවා ගත්තේ ය. පණ්ඩිත ඇසුරෙන් මරණයට මග පෑදෙනවා විනා, මරණයෙන් එතෙර වන්නට බැරි බව දැනගත් සිදුහත් තවුසා පණ්ඩිතයන්ගෙන් දුරස් විය. පණ්ඩිතයන් උගැන් වූ ව‍්‍රත ධර්ම අත්හැර බුද්ධත්වයට පත් විය. අවසානයේ දී බුද්ධත්වයට පැමිණ දේශනා කළේ අත්තකිලමතානුයෝගය (දුෂ්කර ක‍්‍රියාව) යනු සත්‍ය සොයන්නකු විසින් අත් හළ යුතු ධර්මයක් බවයි. සිදුහත් තව්සාණෝ පණ්ඩිත ඇසුරින් නිදහස් වුව ද වර්තමානයේ සත්‍ය දැකීමට ම මිනිස් ලොවට පැමිණ, පණ්ඩිත ඇසුර නිසා විවිධ ව‍්‍රත ධර්ම අනුගමනය කරමින් දුෂ්කර ක‍්‍රියා කරන්නෝ සිටිති. බුදුන් වහන්සේ ඉතා පැහැදිළිව දේශනා කර තිබියදීත් බොහෝ සත්‍ය ගවේෂණය කරන්නෝ සිල්ව‍්‍රත අනුගමනය කරන්නේ ඇයි දැයි ප‍්‍රශ්නයකි.

‘අපි සත්‍ය දැකීමට අනුගමනය කරන්නේ නිවැරදි ව‍්‍රත ක‍්‍රම’ යයි මෙම ව‍්‍රත රකින්නෝ කියති. පුද්ගලයන් විසින් විවිධ ව‍්‍රත ක‍්‍රම අනුගමනය කරන්නේ ඒවා තමන්ටත් තමන්ගේ සමාජයටත් යහපත් යයි පිළිගන්නා බැවිනි. කිසිම ජන සමාජයක් තමන්ගේ අවබෝධයට අනුව වැරදි ව‍්‍රතයත් අනුගමනය කරන්නේ නැත. බලූ ව‍්‍රත රකින්නා කියන්නේ ද ‘මා අනුගමනය කරන්නේ නිවැරදි ව‍්‍රතයකි’ යන්නයි. ව‍්‍රතය වැරදි බව තමන් දන්නේ නම් එය අනුගමනය කරන්නේ නැත. බොහෝ ව‍්‍රත එකම කුලකයකට අයත් වන බැවින් මෙය වැරදි ව‍්‍රතයකි, මෙය නිවැරදි ව‍්‍රතයකි, යනුවෙන් ව‍්‍රත බෙදා වෙන් කළ නොහැකි ය. උදාහරණයක් ලෙස බලු ව‍්‍රත රකින්නා සැප ආසන සයන ඉවත දමා බිම වාඩිවෙයි. සමහර ව‍්‍රත රකින්නෝ ද එලෙසම සැප ආසන පැත්තකින් තබා බිම වාඩි වෙති. බල්ලෝ කණකර නොපළඳින බැවින් බලු ව‍්‍රත රකින්නා කණකර ආභරණ ගලවා පැත්තකින් තබයි. වෙනත් ව‍්‍රත රකින්නෝ ද එම ව‍්‍රත රකින විට කණකර ආභරණ වලින් නිදහස් වෙති. බලූ ව‍්‍රත රකින්නා නැටුම්, ගැයුම්, වැයුම් වලින් ඉවත් වෙයි. සමහර ව‍්‍රත රකින්නෝ ද නැටුම්, ගැයුම් වැයුම් වලින් ඉවත් වෙති. එකම කුලකයකට අයත් වන මෙම සියලූ ව‍්‍රත රකින්නෝ ව‍්‍රත රැකීම අතින් සහෝදරයන් වන්නේ එබැවිනි.

ව‍්‍රත රකින්නාට එම ව‍්‍රතයෙන් සිදුවන හානිය දකින්නේ බුදුවරයෙක් පමණි. සමහර බුද්ධිමත් ව‍්‍රත රකින්නන්ට තමන් රකින ව‍්‍රතය කෙරෙහි සැක උපදී. බුදුන්ගේ කාලයෙහි එළුව‍්‍රත රකිමින් සිටි බුද්ධිමත් තරුණයා එවැන්නෙකි. ඔහු බුදුන් වෙත පැමිණ ඇසුවේ ඔහුගේ ප‍්‍රශ්නය නොව ඔහුගේ සහෝදරයාගේ ප‍්‍රශ්නයයි (ඔහු ව‍්‍රත රැකීමෙන් සහෝදරයෙක් විනා නෑකමින් සහෝදරයෙක් නොවේ). සහෝදරයා බලූ ව‍්‍රත රකින්නෙකි. ‘ස්වාමිනි මගේ සහෝදරයා බල්ලෙක් ලෙස හැසිරෙයි, බල්ලෙක් ලෙස ආහාර ගනී, ඔහුගේ මතු ජීවිතය කුමන ආකාරයක් ගනී ද? මෙවැනි ප‍්‍රශ්නයකට බුදුකෙනෙක් පිළිතුරු දෙන්නේ නැත. බුදුකෙනෙක් මෙසේ වන්නේ යයි දේශනා කළොත් එය එසේම වන බැවිණි. මෙම ප‍්‍රශ්නය අසන්න එපා යයි තුන්වරක්ම බුදුන් වහන්සේ කීවද, නැවත නැවත එම ප‍්‍රශ්නය ඇසීම නිසා බුදුන් වහන්සේ අවසානයේදී පිළිතුරු දුන් සේක. ව‍්‍රත රකින්නාට හානියක් නොවන ලෙස උන්වහන්සේ ’ යම් කෙනකුගේ කැමැත්ත (බලාපොරොත්තුව) එයනම් තමාගේ කැමැත්ත අනුවම එය සිදුවෙයි’ යනුවෙන් පිළිතුරු දුන් සේක. එළුව‍්‍රත රකින්නා බුදුන් වහන්සේගේ පිළිතුර අසා හඩා වැටුනි. තමන්ටත් සිදුවන්නේ එයම නොවේ දැයි බුද්ධිමත් එළු ව‍්‍රත රකින්නා දැනගත් බැවිනි. කිසියම් වූ ව‍්‍රතයක් තමන් රකින්නේ නම්, මෙම ව‍්‍රතය නිසා තමන් ට අනාගතයේ දී කුමක් සිදුවන්නේ ද යන්න තම තමන්ගේ බුද්ධියෙන් ම විමසා බැලිය යුතු ය. ව‍්‍රතයක් බොහෝ කාලයක් සමාදන් වීමෙන් එය සංසාර පුරුද්දක් බවට පත්වෙයි. එවැන්නකුගේ මතු ජීවිතය ව‍්‍රතයට අනුවම හැඩගැසෙයි.

යම්කිසි කෙනෙක් තමන්ට වාඩිවීමට හා නිදාගැනීමට ආසන හා සයන තිබියදී එම ආසන හා සයන ඉවත දමා බිම වාඩිවීම බිම නිදාගැනීම ආදී ව‍්‍රතයක් අනුගමනය කරන්නේ නම් තම කැමැත්තට අනුවම අනාගත ජීවිතය සකස් වෙයි. ඔවුන්ට කොතරම් මිල මුදල් තිබුණ ද ආසන හා සයන නොලැබී යයි. තමන්ගේ සරුසාර වූ අස්වැන්න නෙලා ආසන හා සයන මිලදී ගන්නෙමි යි සිතන කල සියලූම අස්වැන්න නියගයෙන් හෝ ජලයෙන් විනාශ වී යයි. වටිනා කණකර ඇඳුම් ආයිත්තම් ඉවත දමා බාල වර්ගයේ නිර්වර්ණ වූ ඇඳුමක් ඇදීම යම් කෙනකුගේ කැමැත්ත නම් එයත් ඔහුගේ හෝ ඇයගේ කැමැත්ත අනුවම සිදුවෙයි. මෙම ව‍්‍රත තමන්ගේ කැමැත්ත බැවින් එහි වරදක් නැත. නමුත් ලෞකික ලෝකයෙහි ජීවත් වන මෙම ව‍්‍රත රකින්නෝ අනෙක් අය සැප සම්පත් විඳීම දකින විට එම සැප සම්පත් විඳින්නන් කෙරෙහි ද්වේශයක් උපදී. කෙළෙස් සහිත මිනිස් මනසේ ස්වභාවය එයයි. අනෙක් අතට යම් කෙනෙක් ආසන සහ සයන තිබියදී බිම වාඩිවෙනවා නම් බිම නිදා ගන්නවා නම් එවැනි වූ ව‍්‍රතයක් අත්තකිලමතානු යෝගයක් නොවන්නේ ද? අත්තකිලමතානු යෝගය යනු සත්‍ය සොයන්නකු විසින් අත්හළ යුතු ධර්මයකි.

ව‍්‍රතය ද මිනිස් සත්ත්වයා සසරට බැඳ තබන තවත් සංයෝජනයකි. සියලූම ව‍්‍රත ධර්ම වල උපත සත්ත්ව පුද්ගල දෘෂ්ඨියයි. යමි කෙනෙක් මම ‘උස් වූත් විශාල වූත් ආසනයක නිදා නොගන්නෙමි’ යි සමාදන් වූ කල, සත්ත්ව පුද්ගල දෘෂ්ඨිය, උඩයට හා ආසන පිළිගෙන ඇත. ‘උස් සයනය’ යනු මනසේම නිර්මාණයකි. ඔබේ නිවසේ එක් කාමරයක කොනක ඇඳක් ඇත්නම් එය උස් සයනයකි. නමුන් එම ඇඳ කාමරය පුරාම සම්පූර්ණයෙන් විහිදී ඇත්නම් දැන් අපි කාමරයේ සයනයක් ඇතයි කියන්නේ නැත. සයනය වෙනුවට දැන් එම කාමරය අනෙක් කාමර වලට වඩා ඉහළින් පිහිටා ඇත. කඳුකරයේ පිහිටි නිවෙස් වල සියලූම කාමර එකම මට්ටමේ නැති බව ඔබ දන්නවා ඇත. යම් කෙනෙක් ව‍්‍රත රකිනවා යයි කරන්නේ තමන්ගේ මනස රවටා ගැනීමකි. ‘නැටුම් නොබලමි’ යි සමාදන් වුවත් බාහිර බලන්නට නැටුමක් නැත. නැටුම යනු තමන්ගේ මනසේ සාදාගත් සංස්කාර ධර්මයකි. ගැයුම ද, වැයුම ද, මනසින් ම සාදාගත් සංස්කාර ධර්ම වෙයි. මෙම සංස්කාර ධර්ම වලට පදනම වන්නේ වැරදි රූපයයි (වර්ණ, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යනුවෙන් රූප පහකි). දැනුමෙන් සාදාගත් මෙම ධර්ම සත්‍ය නොවේ. මම ‘නැටුම් නොබලමි, ගැයුම් වැයුම් නොඅසමි’ යයි සමාදන් වීමෙන් යෝගාවචරයා කරන්නේ එම වැරදි සංස්කාර ධර්ම පිළිගැනීමයි. මෙම ‘පිළිගැනීම’ එම සංස්කාර ධර්ම වලින් නිදහස් වීමට බාධාවක් නොවෙන්නේ ද? ඇසෙන් රූප නොදැක සත්‍ය දැකිය හැකිද? අනුරාධපුර යුගයේ එක් තෙරුන් වහන්සේ නමක් රහත් වූවේ තමන් වහන්සේ ඉදිරියට පැමිණි තරුණ කාන්තාවකගේ සිනහව දැකීමෙනි. තරුණ කාන්තාවගේ මුතුවන් දත් දෙපළ එම තෙරුන් වහන්සේ විසින් දුටුවේ ඇට සැකිල්ලක් ලෙසිනි. බොහෝ දෙනෙක් සත්‍ය දකින්නට වීර්යය දරන්නේ දෑස් පියාගෙන ය. නමුත් යමෙක් සත්‍ය දකින්නේ ඉන්ද්‍රියන් හොදින් විවෘතව ඇති විට පමණි.

ව‍්‍රත සමාදන් වී ධර්මය කරගසාගෙන යාමම මිනිස් සත්ත්වයාට දුකකි. මුළාවට පත් යෝගාවචරයෝ ව‍්‍රත සමාදන් වීමෙන්ම සත්‍ය සොයති. නමුත් යම් කෙනෙක් සත්‍ය දකින්නේ ඔහු හෝ ඇය මෙතෙක් අනුගමනය කළ ව‍්‍රත වල වැරදි දැක එම ව‍්‍රත වලින් නිදහස් වීමෙන් පමණි.

කතෘ සටහන:- මම මෙම ලිපියේ මාතෘකාවට සඳහන් කර ඇති ‘සිල්ව‍්‍රත’ යන්නෙහි තේරුම බොහෝ සත්‍ය සොයා යන්නන් විසින් උත්සාහයෙන් හා වීර්යය දරමින් සමාදන් වන ‘ව‍්‍රත’ මිස මාර්ග ඵල ලාභියකුට ඇති ‘නිත්‍ය සීලය’ නොවන බව සදහන් කර සිටිමි. ලෝකෝත්තර ධර්ම වලට වචන වලින් අර්ථ කථන දිය නොහැක. මෙම ලිපිවල සඳහන් කරන පාරිභාෂික වචන, පොදු ජනතාව විසින් භාවිත කරන වචන විනා ත‍්‍රිපිටකයේ ඇති තේරුමට අදාළ වචන නොවිය හැක. සත්‍ය දකින්නේ වචන වලින් නොවන බැවින්, එයින් සත්‍ය දැකීමට බාධාවක් නොවේ. නමුත් ධර්මාවබෝධය ලබන්නන් මෙම වචන ත‍්‍රිපිටකයට අනුවම නිවැරදිව දැනගත යුතුය. නැතිනම් ධර්මාචාර්ය හෝ ශාත‍්‍රපති උපාධියට පළමුවන පන්තියේ සාමාර්ථය නොලැබී යා හැක.

-ආචාර්ය තිස්ස සේනානායක-
E-mail:- tissamahima@gmail.com
කෘතිය:- "ධර්ම පහුර හිස තබාගෙන
මෝහ ගඟ තරණය කරන්නෝ"