Google+ Followers

Saturday, February 1, 2014

කාලේන ධම්ම සාකච්චා


විවිධ ශාතෘවරුන් දේශනා කල ධර්ම ශ්‍රවනය කර එම ධර්ම පිළිපැදීමෙන් හෙම්බත් වූ කුරු රට කාලාම වැසියන් උදෙසා මේ කාලාම සුත්‍ර දේශනාව කර ඇත. මෙම සූත්‍රයේ බුදුන් වහන්සේ දස ආකාරයක පිළිගැනීම විවාදයට භාජනය  කරයි. එනම්

1.      ඇසීමෙන්

2.      පරම්පරාවෙන් ආ බව කීමෙන්

3.      පොත් පත්වල සඳහන් වූ පමණින්ම

4.      මෙසේ යැයි කී පමණින්

5.      ශ්‍රමණයින් කී පමණින්

6.      සුදුසුකම් සැලකීමෙන්

7.      තර්කයට එකඟ බැවින්

8.      න්‍යායට එකඟ බැවින්

9.      එහෙම නිසා

10.  තම දෘෂ්ටියට එකඟ නිසා පිළිගැනිම, මෙම කරුණු දහයයි.

ඉහත දැක්වෙන දස ආකාරයකට ධර්මය පිළිගැනිමෙන් මිනිස් සත්වයා දුකට පත්වෙන බව මෙම සූත්‍රයෙන් පෙන්වා දෙයි. මේ දස ආකාරය හැරුණ විට ධර්මය පිළිගත හැකි වෙනත් ආකාරයක් තිබේද යන්න ප්‍රශ්නයකි. බොහෝ දේශක තුමන්ලාගේ ධර්මයට අනුව, අසන දේ තමන්ගේ බුද්ධියෙන් පරීක්‍ෂාකර බලා පමණක් පිළිගත යුතු බව බුදුදහමෙහි එන මූලික ඉගැන්වීම බව කියවෙයි. තමන්ගේ බුද්ධිය නිර්මාණය වී ඇත්තේ අනුන්ගෙන් අසා පිළිගත් ධර්ම වලිනි. දැනගත් ධර්මයක්, පිළිගත් ධර්මයක් නොමැති තැන බුද්ධියක් ද නැත. එබැවින් බුද්ධිය තුල ඇත්තේ දෘෂ්ඨියකි. එය ඉන්ද්‍රිය පිළිගැනීමකි. ගණිතයේ සහ විද්‍යාවේ පදනම වන්නේ ද මේ දෘෂ්ඨියයි. එමනිසා තමන්ගේ බුද්ධියෙන් පරික්ෂා කර පිළිගැනිම යනු තම දෘෂ්ඨියට එකඟ වූ පිළිගැනීමකි (අංක 10). අනෙක් අතට තමන්ගේ බුද්ධියෙන් පරික්ෂා කරන්නේද තර්කයෙනි. එවිට එතන පිළිගන්නේද තර්කයට එකග වන බැවිනි (අංක 7).

බුද්ධ හැර අන් සෑම සාතෘවරයෙක්ම යම් ධර්මයක් දේශනා කර එම ධර්මය ප්‍රගුණ කිරීමට අනුගාමිකයාට උපදෙස් දෙයි. අනුගාමිකයා එම උපදෙස් පිළිගෙන ධර්ම ප්‍රගුණ කරයි. එවිට කාලාම සුත්‍රය ඔවුන්ගේ දේශනාවන්ට පටහැනි වන බැවින් මේ සාතෘවරු කරන්නේ කාලාම සුත්‍රය තමන්ට අවශ්‍ය ආකාරයට ප්‍රතිසංස්කරණය කර දේශනා කිරීමයි. විමසා බලා පිළිගැනීමට උපදෙස් දීමඑවැනි සංස්කරණය කරන ලද ගුරු දර්මයකි. ඉන්ද්‍රිය මුලාවෙන් ග්‍රහණය කරගත් ධර්මයක් ඉන්ද්‍රිය මුලාවෙන් පැනනැගුන බුද්ධියෙන් විමසා බලා පිළිගැනීම බුද්ධ වචනය වන්නේ කෙසේද?

බෞද්ධයන් වන බොහෝ දෙනෙක් නිවන් දැකීමේ පරමාර්ථයෙන් පන්සිල් අටසිල් ආදී සිල්වෘත, විවිධ භාවනා ක්‍රම, චින්තනයෙන් නිදහස් වීම, මනසින් සියල්ල අතහැරීම ආදී ධර්ම අනුගමනය කරන බව අපි දනිමු. මේවා ගුරුවරුන්ගෙන් හෝ ත්‍රිපිටක ආදී පොත්පත් වලින් හෝ අසා කියවා දැනගෙන පිළිගත් ධර්ම වෙයි. පිළිගැනීමෙන් තොර අනුගමනය කිරීමක් නොමැති බැවින් ධර්ම අනුගමනය කරන්නේ ද පිළිගැනීමෙනි. අනෙක් අතට කාලාම සුත්‍රය ද ඔබ දැනගත්තේ ඇසීමෙන් හෝ පොත්පත් වලින් බැවින් එයද ප්‍රශ්න කිරීමට භාජනය වෙයි. කාලාම සුත්‍රය පිළිගතහොත් අනෙකුත් සුත්‍ර දේශනා පිළිගැනීම විවාදයට භාජනය වෙයි. එසේම කාලාම සුත්‍රය පිළිගැනීමප්‍රතික්ෂේප කරන බැවින් කාලාම සුත්‍රය පිළිගතහොත් එය කාලාම සුත්‍ර දේශනාවට ම පටහැනි වෙයි. මේ අනුව බලන කල බුදුන් වහන්සේ දේශනා කල දර්මය කුමක්ද යන්න කෙනෙකුගෙන් අසා දැනගත නොහැක. බුද්ධ වචනය යනු අවබෝධකරගත හැකි ධර්මයක් ද යන ප්‍රශ්නය ද මෙතැනදී පැනනගියි.

ගුරුවරයා විසින් විමසා බලා මගේ ධර්මය පිළිගන්නයයි දේශනා කරන විට ශ්‍රාවකයා සිතන්නේ තම ගුරුවරයා දේශනා කරන ධර්මය සත්‍ය බවත් එම සත්‍යතාව තහවුරු කරගැනීමට විමසා බලා පිළිගන්නා ලෙස දේශනා කරන බවත්ය. තමන්ගේ ඉන්ද්‍රිය ගෝචර බුද්ධියෙන් ගුරුවරයාගේ ධර්මයේ සත්‍යතාව තහවුරු කරගැනීමේ අවසාන ප්‍රතිපලය නම් ගවේෂණය අතරමග නතර වී ගුරුවරයාගේ ධර්මය පිළිගැනීමයි. ගුරුවරයා ද තමන් දේශනා කරන ධර්මය සත්‍ය බව පිළිගන්නා බැවින් ඔහුට අවශ්‍ය වන්නේ ද තමන්ගේ ධර්මය අනුගාමිකයා තුල තහවුරු කිරීම පමණි.

විමර්ශනයත් ගවේෂණයත් අතරමග නතරවෙන බැවින් පිළිගැනීම තුලින් අවසානයක් කරා යා නොහැක. අනෙක් අතට යමෙක් විමර්ශනය කරන්නේද තමන් මෙතෙක් අසා දැනගෙන පිළිගත් ධර්මතා වලින් බැවින් ගවේෂණය ආරම්භ කිරීමට තමන් යම් ධර්මයක පිහිටිය යුතුය. නමුත් යම් ධර්මයක් පිළිගැනීමෙන් විමර්ශනය හෝ ගවේෂණයක් ඇති නොවන බව ඔබටම පැහැදිලි වී ඇතයි මම සිතමි. එසේනම් මේ ගවේෂණය ආරම්භ වන්නේ කෙසේද? විවිධ සාතෘවරුන් බිහිවීමේ ප්‍රතිඵලයක් ලෙස එකිනෙකට වෙනස් වූ පරස්පර විරෝධී වූ දර්ම ශ්‍රවනය කිරීමට අවස්ථාව ලැබීම තුලින්ම මේ ගවේෂණය ආරම්භ වෙයි. ගෞතම බුදුන් වහන්සේ කාලාම සුත්‍රය දේශනා කරන විට කාලාම වැසියන් යම් යම් ධර්ම තුල සිරවී සිටීමෙන් එය පැහැදිලි වන්නේ ඔවුන් ගවේෂණය ආරම්භකර තිබූ බවයි. කුරු රටට බුදුන්ගේ ආගමනය සිදුවන්නේ කාලාම වැසියන් මෙවන් විවිධ ධර්ම ප්‍රගුණ කර හෙම්බත් වී ඇති අවස්ථාවකදීය.

අප රටද දැන් එවන් අවදියකට එළැඹ ඇත. මෙම අවධිය කොපමණ උච්ච් අවස්ථාවකට පත් වී ඇද්දැයි කිවහොත් විවිධ ධර්මයන්ට තහංචි දැමීමට නීතිරීති පැනවීමට පවා රජයට බල කරන අවස්තා උදා වී ඇත. බුද්ධපහල වන්නේ මෙවැනි ධර්ම සාකච්චාවක් (වාදයක්) ඇති අවස්ථාවක දී බව තේරුම් ගැනීමට තරම් බුද්ධිය පහල වූ අය අද අල්පය. එකම ධර්මයක් සියල්ලෝම දේශනා කරන්නේ නම් එතන ධර්ම සාකච්චාවක් කොයින්ද? ‘කාලේන ධම්ම සාකච්චායනු උතුම් මංගල කරුණකි.

යමෙක් යම් දේශකයකු ගේ ධර්මයක් ප්‍රතික්‍ෂේප කරයි නම් එයින් ගම්‍ය වන්නේ ද ඊට ප්‍රතිවිරුද්ධ වූ යම් ධර්මතාවයක් පිළිගන්නා  බවයි. එමනිසා ධර්ම ප්‍රතික්ෂේප කිරීමද කාලාම සුත්‍රයට එකඟ නොවෙයි. ධර්මය පිළිගැනීමක් හෝ ප්‍රතික්‍ෂේප කිරීමක් නැති තැන ඉතිරි වන ධර්මතාව කුමක්ද? ධර්මය කෙරෙහි ඇතිවන සැකය සහ ප්‍රශ්න නැගීම විමර්ශනයේ සහ ගවේෂණයේ මාර්ගය වුවත් පිළිගැනීම තුලින් සැකය දුරු කිරීමත්, ධර්මය තුලින් ලැබෙන තමන්ගේ ප්‍රශ්නයට අදාළ පිළිතුර පිළිගැනීමත් ගවේෂණය අතරමග නතර වීමට හේතුවෙයි. විවිධ ආකාරයේ ධර්ම දේශනා කරන සාතෘවරුන් දැන් බිහිවී ඇති බැවින් ඔබගේ ප්‍රශ්න වලට ඔබ පිළිගන්නා පිළිතුරුද ඔවුන්ගෙන් දැන් ලැබී ඇත. මේ ප්‍රශ්නයත් එහි පිළිතුරත් අතැති ඔබ සසර සැරිසරයි.

මෙතෙක් පැවත ආයේ ධර්ම භාණ්ඩාගාරික ආනන්ද තෙරුන් වහන්සේ විසින් ශ්‍රවණය කර මා විසින් මෙසේ අසන ලදීයනුවෙන් දේශනා කරන ලද ධර්මයකි. කාලාම සුත්‍රය ට අනුව මෙම ධර්ම පිළිගැනීම විවාදයට ලක්වෙයි. එසේනම් සත්‍යය හෙවත් නිවන් දැකීමේ මාර්ගය කුමක්ද? ධර්ම පිළිගැනීමෙන් හා ප්‍රතික්ෂේප කිරීමෙන් තොර වූ මේ සත්‍ය මාර්ගය කුමක්ද යන්න බුදුවරු පෙන්වා දෙන්නේ ධර්ම චක්‍ර පවත්වන සුත්‍ර දේශනාවෙනි. සියළුම බුදුවරු බුද්ධපහල වූ බව ලොවට හෙළි කරන්නේ අභියෝග කිරීමෙන් නොව ධම්ම චක්‍ර පවත්වන සුත්‍ර දේශනා කිරීමෙනි. ධම්ම චක්‍ර පවත්වන සුත්‍රය තමන්ගේ අත්දැකීමෙන් දේශනා කල හැක්කේ  බුද්ධ පහල වීමෙන් පසුව පමණි. මේ දේශනාව පොතපතකින් හෝ අසා දැනගත නොහැකි, තමන්ම දැකියයුතු දේශනාවකි.

ආචාර්ය තිස්ස සේනානායක