Google+ Followers

Friday, June 27, 2014

කැකිල්ලේ රජුගේ විනිශ්වයෙන් පෙන්වන චතුරාර්‍ය සත්‍යය

 උපමා උපමේය තුළ හා ජාතක කථා ඇතුළු විවිධ කථාන්දර තුළ සත්‍ය ගබඩා කර ඇත. ප්‍රඥාව පහළ වූ කළ මෙම ගබඩා කර ඇති සත්‍ය විවෘත වෙයි. එම ධර්මය අසා ප්‍රඥාව පහල වූ ඥාණවන්තයා සත්‍ය දකී. තථාගත දර්ශනය තුළ ඇති සත්‍යය දැක දුකෙන් නිදහස් වීමට කාලය දැන් පැමිණ ඇත. අද චතුරාර්‍ය සත්‍යය කැකිල්ලේ නඩූ තීන්දුව තුළින් විවෘත වන්නේ ය. මෙම විවෘත වූ සත්‍ය අසා බොහෝ දෙනෙක් සත්‍ය දැක දුකෙන් නිදහස් වෙති.

පෙරදා ඇද වැටුන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් එක්තරා මනුෂ්‍යයකුගේ නිවස විනාශ විය. නිවස විනාශ වීමෙන් දුකට පත් ඔහු එකළ රාජ්‍ය කළ කැකිල්ලේ රජු කරා ගොස් තමන්ට සිදු වූ වින්නැහිය දන්වා සිටියේ ය: “දේවයන් වහන්ස, මගේ නිවස විනාශ වුයේ ගේ සාදන ලද වඩුවාගේ වරදිනි. ඔහු නිවස ශක්තිමත්ව සාදා නැත”. ඔහුගේ බස් ඇසු රජු වඩුවා කැදවාගෙන ඒමට අණ කලේ ය. රාජ පුරුෂයෝ වඩුවා කුදලාගෙන පැමිණිය හ. කැකිල්ලේ රජතුමා වඩුවා මගුල් ඇතු ලවා පාගා මරා දැමීමට පෙර ඔහුගෙන් නිදහසට කරුණු විමසන්නේ වඩුවා මෙසේ ප්‍රකාශ කරන්නේ ය. “නිවස විනාශ වූයේ එය ශක්තිමක්ව සාදා නිම නොකළ නිසා බව සත්‍යයකි. නමුත් මම එයට වැරදි කරුවෙකු නොවෙමි. මම මෙම නිවස සෑදීමට මැටිඇනුවේ කුඹලා විසින් සාදා දුන් කළගෙඩියෙන් වතුර වත්කරමිනි. එම කළගෙඩියේ කට ඇදව තිබු බැවින් මැටි අවශ්‍යය පරිදි අනා ගැනීමට නොහැකි විය. එමනිසා ස්වාමීනි ගෙය විනාශ වීමට කුඹලා වැරදිකරුය”.

රජතුමා කළය සෑදු කුඹලා ගෙන්විය. එවිට කුඹලා කියන්නේ “ස්වාමිනි වඩුවා කියන්නේ ඇත්තය. මම සෑදු කළගෙඩියේ කට ඇදය. එයට හේතුව මම කළය සාදන විට එක්තරා ගැහැණියක පාරේ දිනපතා එහා මෙහා ගියා ය. ඇය දෙස බලමින් කළය සෑදු බැවින් එහි කට ඇදවිය”. බලාගෙන ගිය විට කුඹලාගේ කථාවේ ද සත්‍යතාවයක් ඇත.

රජතෙමේ වහාම එහා මෙහා ගිය කාන්තාව රැගෙන ඒමට අණ කලේ ය. කාන්තාව මෙසේ තම නිදහසට කරුණු කියන්නී: “රජතුමනි, මම මෙම වඩුවා නිවස සාදන විට පාරේ එහා මෙහා ගිය බව සත්‍යයකි. නමුත් මම නිවස කඩා වැටීමට වරදකාරිය නොවෙයි. ඇයි ද කියනවා නම්, මම මට ලැබුණ රන් වලින් ආභරණ සාදාගැනීමට එම රන්, නගරයේ වෙසෙන රන්කරුවාට බාර දුනිමි. ඔහු සෑදු ආභරණ ලබා ගැනීමට මම දිනපතා රන්කරුවා හමුවීමට ගියෙමි. නමුත් ඔහු මට රන්භාණ්ඩ නොදෙන්නේ ය. ඔහු ඊළග දින පැමිණෙන්නට යයි කියන්නේ ය. එම නිසා මට දිනපතා රන්කරුවා  හමුවීමට යාමට සිදුවිය”.

කරුණු කාරණා ඇසූ කැකිල්ලේ රජතුමා රන්කරුවා ගෙන්වා කාරණා විමසීය. ඔහු මෙසේ කියන්නේ ය. “රජතුමනි, මැය කියන කාරණා සියල්ල සත්‍යයයි. මම වැරදිකරු වෙමි. මම ඇය දුන් රන් වලින් රන්භාණ්ඩ නිපදවුවෙමි. ඇයට එම ආභරණ ආපසු භාර නොදුන්නෙමි. නමුත් මම ඔබගේ මගුල් ඇතු ලවා පාගවා මැරීමට තරම් සුදුසු කෙනෙක් නොවෙමි. මම ඉතා කෙසඟ ශරීරයක් ඇත්තෙක්මි. සද්දන්ත මගුල් ඇතු ලවා මා වැන්නෙකු මරා දැමීම එම හස්තිරාජයාට කරන අවනම්බුවකි. නගරයේ වෙසෙන බඩමහත මුදලාලි උස මහත පුරුෂයකි. ඔහු මගුල් ඇතු ලවා මරා දමන්න”.

රන්කරුවාගේ කරුණු ඇසූ කැකිල්ලේ රජ බඩමහත මුදලාලි ගෙන්වා ඔහු මරා දැමීමට  මගුල් ඇතුට බාර දුන්නේය. වඩුවා විසින් සාදන ලද නිවස වර්ෂාවෙන් විනාශ වූ විට බඩ මහත මුදලාලි වරද කරු වන්නේ කෙසේ ද? රට වැසියාට එදා සිට අද දක්වා ඇති ප්‍රශ්නය එයයි.


කැකිල්ලේ රජුගේ විනිශ්වයෙන් පෙන්වන චතුරාර්‍ය සත්‍යය  

දුක, දුකට හේතුව, දුක නැති කිරීම නොදැක දුක නැති කිරීමේ මාර්ගයට හෙවත් ආර්ය අෂ්ඨාංගික මාර්ගයට නොවැටෙයි. යෝගාවචරයෝ කරන්නේ චතුරාර්‍ය සත්‍යය වචන වලින් ඉගෙන ගෙන භාවනාවක් ලෙස පුරුදු පුහුණ කර ඒ තුළින් ආර්ය අෂ්ඨාංගික මාර්ගය ප්‍රගුණ කිරීමයි. මේ ප්‍රගුණ කිරීම තුළින් අනුගාමිකයෙක් බිහි වනවා විනා සත්‍යය දකින්නේ නැත. චතුරාර්‍ය සත්‍යය ප්‍රඥාවෙන්ම ආරම්භ විය යුතුය.

භවය නමැති නිවස සාදනු ලබන්නේ තණ්හාව නමැති වඩුවායි. රූප, වේදනා, සඥා, සංඛාර, විඥාන නම් වූ පංච ස්කන්ධය උපාදානය කිරීම නිසා  ජාති, ජරා, ව්‍යාධි මරණ ආදී තමන් අකමැති ධර්ම හතරකට මිනිසා ගොදුරු වෙයි. එමගින් දුකට පත්වෙයි. ප්‍රඥාව පහල වන තෙක් මහා වර්ෂාවට අසු නොවන අතර මේ දුක දකින්නේ මහා වර්ෂාවට පසුවයි. වඩුවා ලවා සාදාගත් නිවසේ සිටීමෙන් මහා  වර්ෂාවෙන් බේරීමට නොහැකිය. ගෙය ශක්තිමත්ව සාදා නොමැති බැවින් එය කඩා වැටෙයි. තමන් සාදාගත් නිවස විනාශ වීම සත්වයාට දුකකි. නමුත් පෘතග්ජන පුද්ගලයා (සක්කාය දෘෂ්ඨිය) මෙම දුකට හේතුව නොදනී. මෙම මහා වර්ෂාවට පසු මනුස්‍යයා දුකට හේතුව සොයයි. ප්‍රඥාව පහළ වූ පසු දුකට හේතුව විනිශ්වය කරන්නේ කැකිල්ලේ රජු විසිනි. රජු නම් තණ්හාවයි.

නිවස අයිති කරු (සක්කාය දෘෂ්ඨිය) නිවස විනාශ වීමට හේතුව එය සෑදු වඩුවා බව කියමින් රජතුමාට පැමිණිලි කරයි. රජු විනිශ්චය කරයි. වඩුවාගෙන් නිදහසට කරුණු අසයි. විනිශ්චයක් නැති කළ ධර්ම පිළිගත් අය කරන්නේ  දුකට හේතුව තණ්හාව බව පිළිගෙන තණ්හාව මුලුනුපුටා දැමීමට කායික හා මානසික වීර්යය යෙදීමයි. ඔවුහූ දුක නැතිකිරීමේ මාර්ගය ලෙස අනුගමනය කරන්නේ තණ්හාව නැතිකිරීමේ මාර්ගයයි.

දෙයාකාරයක තණ්හාවේ ස්වභාවය වඩුවාගේ චරිතයෙන් ද රජ්ජුරුවන්ගේ චරිතයෙන් ද ගෙන හැර පායි. ලී දඬු එක් කර භවය නමැති ගේ සාදන්නේ තණ්හාව නමැති වඩුවායි (තන්හා පච්චයා උපාදාන, උපාදාන පච්චයා භව). මෙතැන වඩුවාගෙන් පෙන්වන්නේ පංචුපාදානස්කන්ධය ගොඩ නැඟීමේ දී තණ්හාවෙන් සිදුවන කාර්යයයි. රජ්ජුරුවන්ගෙන් පෙන්වන්නේ  පංචුපාදානස්කන්ධය ක්‍රියාත්මක වීමේ දී තණ්හාවේ කාර්යයයි. කැකිල්ලේ රජ්ජුරුවෝ ක්‍රියාත්මක වන්නේ ප්‍රඥාව පහළ වූ පසුවයි. ප්‍රඥාව පහළ වීමට පෙර තණ්හාවේ ක්‍රියාකාරිත්වය කොසොල් රජ්ජුරුවන්ගෙන් පෙන්වයි.

බුදුන් වහන්සේ ”මම නිවස සාදන වඩුවා දුටුවෙමි” යයි දේශනා කළ ද ”මම වඩුවා විනාශ කෙළෙමි” යයි දේශනා කරන්නේ නැත. වඩුවා හෙවත් තණ්හාව දුටු ප‍්‍රඥාවන්තයා තණ්හාවට හේතුව සොයන්නේ ය. වඩුවාට හොදින් මැටි පදම්කර නිවස ශක්තිමත්ව සෑදීමට නොහැකි වූයේ මැටි කළවම් කිරීමට වතුර දැමු කළගෙඩියේ කට ඇද බැවිනි. සංස්ඛාර ධර්ම නමැති කළගෙඩිය සෑදුවේ සංස්ඛාර නමැති කුඹලා විසිනි. කුඹලා ගේ කාර්යය වළං සෑදීමයි. එතැන ක්‍රියාව සහ කාලය ඇත. නමුත් කුඹලා සාදන කළගෙඩිය හිස් භාජනයකි. කළගෙඩියෙන් සංස්ඛාර ධර්ම වල ස්වභාවය පෙන්වයි. සක්කාය දෘෂ්ඨිය ඇතුළු දෘෂ්ඨි පිළිගත් බැවින් කළගෙඩියේ කට ඇදවෙයි. නමුත් මේ කට ඇද කළගෙඩිය සෑදුවාට කුඹලා වැරදි කරුවෙකු නොවෙයි. දෘෂ්ඨි සහගත චින්තනය නිසා සංස්ඛාර ධර්ම නමැති කළගෙඩියේ කට ඇද වූ බැවිනි. එහා මෙහා ගමන් කරන්නේ චින්තනය නමැති ගැහැණියයි. එසේ නම් නිවස විනාශ වීමට හේතුව කුඹලා නොව චින්තනයයි. මෙම ගැහැණිය එහා මෙහා යන්නේ ඇයි? ඇය රන්කරුවාට බාර දුන් රන් වලින් සාදන ලද ආභරණ ලබා ගැනීමටයි. නමුත් ඇයට එම ආභරණ කිසිදා ලැබෙන්නේ නැත. ගැහැණියට ලැබුණ රන් නම් විඥානයයි. චින්තනය නොමැතිව ගබඩා වී ඇති විඥානය ගොඩ ගත නොහැකිය. රන්කරුවා නම් සඥාවයි. රන්වලින් සාදන ආභරණ නම් රූප ඡායායි. වර්ණ රූප, ශබ්ද රූප, ඝන්ධ රූප, රස රූප සහ ස්පර්ශ රූප යනුවෙන් රූප පහකි. නමුත් මෙම ආභරණ ඇයට කිසි දිනක ලැබෙන්නේ නැත.

විඥානය නමැති රන් ලබාගෙන සඥාව නමැති රන්කරුවාට බාරදෙන එහාමෙහා යන ගැහැණිය ක්‍රියාත්මක වන්නේ  අඩ නින්ද තුලයි. නමුත් මෙම රන් අභරණ අයට ලැබීමට පෙර චින්තනය නමැති ගැහැණිය ඉන්ද්‍රියන්ට අවදිවෙයි. එවිට සංස්ඛාර ධර්ම ක්‍රියාත්මක වෙයි. කුඹලා ගැහැණිය දෙස බලමින් සංස්ඛාර ධර්ම නමැති කලගෙඩිය සාදන්නේ එබැවිනි. ඉන්ද්‍රියන්ට අවදිවන විට රූපඡායා නමැති රන් අභරණ ඇයට ලැබෙන්නේ නැත. ඒ වෙනුවට ඉන්ද්‍රිය ගෝචර පංච ස්කන්ධයක් හෙවත් දැනුමක් උපාදානය කරගනියි. ඉන්ද්‍රිය ක්‍රියාත්මක වන තාක්කල් මේ ක්‍රියාව සිදුවන බැවින් ඉන්ද්‍රිය පිළිගන්නා තාක්කල් චින්තනය හෙවත් ගැහැනියගේ එහාමෙහා යාම නතර වන්නේද නැත. මේ ක්‍රියාව නතර වන්නට නම් අඩනින්දම දැකිය යුතුය. අඩනින්ද දකින්නේ සෝවාන් මාර්ගයේදීය. ගැහැණියට රූප ඡායාව ලැබුණි නම් එතනම සසර ගමන අවසන් වෙයි. නාමරූප දකියි. එමනිසා ගැහැණිය ආභරණ ලැබෙන තෙක් එහා මෙහා යයි. මේ පෙන්වන්නේ චින්තනයේ ගමනයි.

චින්තනය හෙවත් ගැහැණිය නිවස විනාශ වීමට වරද කාරිය වුවද, ඇය කියන්නේ ඇයට රන් ආභරණ රන් කරුවාගෙන් නොලැබුණ බවයි. එමනිසා රන්කරුවා වරදකරු වෙයි. නමුත් බොහෝ යෝගාවචරයෝ පිළිගන්නේ දුකට හේතුව චින්තනය බවයි. එමනිසා ඔවුහූ චින්තනය මුලින් උපුටා දැමීම සදහා විවිධ භාවනා ක‍්‍රම අනුගමනය කරති. හේන්පිටගෙදර ඤානසීහ නාහිමියන්ගේ “සිත සහ සිත නැති කිරීම” නමැති ග්‍රන්ථයෙන් උගන්වන්නේ මෙවැනි අභ්‍යාසයකි.

අවසානයේ රන්කරුවා වරදකරු වෙයි. ගැහැණියට අනුව මගුල් ඇතු ලවා පාගා දැමිය යුත්තේ ඔහුයි. බොහෝ සත්‍ය ගවේශකයෝ ද රන්කරුවා හෙවත් සඥාව මරා දමා දුකෙන් නිදහස් වීමට උත්සාය දරති. ඔවුහූ සඥා නිරෝධයකට පත්ව සඥාවෙන් නිදහස් වීමට කායික හා මානසික වීර්යය දරන අතරම එම ධර්ම අන් අයට ද කියාදෙති. රන්කරුවා ගෙන්වා ප්‍රශ්න කළවිට ඔහු වරද පිළිගත් නමුත් ඔහු කියන්නේ තමා කෙට්ටු කෘෂ වූ පුද්ගලයෙක් බැවින් මගුල් ඇතා ලවා පාගා දැමීමට සුදුස්සෙක් නොවන බවයි. ඔහු කියන කතාව ද ඇත්තකි. සඥාව නැමති රන්කරුවා කෘෂ අයෙකි. එයට හේතුව නම් සඥාව අවිද්‍යාවෙන් පෝෂණය නොවීමයි. සඥාව පටිච්චසමුපාද ධර්මයට අයත් ධර්මයක් නොවෙයි. එය නොනැසිය හැකි හේතුපල ධර්මයෙන් ද ස්වායත්ත වූ විශ්ව ධර්මයකි.

අවසානයේදී මගුල් ඇතු ලවා පාගවා මරා දමන්නට ඇතුට බාරදෙන්නේ බඩ මහත මුදලාලි ය. මෙහි බඩ මහත මුදලාලි නම් කවරෙක් ද? මහත් වූ උදරයෙන් නිරූපනය වන්නේ එකතු කිරීමයි. මෙම කථාන්දරයෙන් පෙන්වන්නේ තමන් තුළ සිදුවන්නා වූ ධර්මයකි. පුරවාගන්නේ දැනුමයි. එනම් බඩ මහත මුදලාලි යනු දැනුමයි. දැනුම යනු මුලාවයි. එය පංචුපාදානස්කන්ධයයි. මුළු ත්‍රිපිටකයම බඩ මහත මුදලාලි තුළ ඇත. ධර්මය නිසා උදරය මහත් වෙයි. මංගල හස්ථි රාජයා නම් ප‍්‍රඥාවයි.

සමහරු කියන්නේ වඩුවා හෙවත් තණ්හාව දුකට හේතුව බැවින් ඔහු මරා දැමිය යුතු බවයි. තවත් කෙනෙක් කියන්නේ චින්තනය වරද කරු බවයි. අනෙක් අය කියන්නේ රන්කරුවා හෙවත් සඥාව වරදකරු බවයි. රටවැසියා මෙම තිදෙනාට වෙන වෙනම වරද පැටවුවද මංගල හස්ථිරාජයා හෙවත් ප‍්‍රඥාව ඔවුන් මරා දැමීමට සූදානම් නැත. එමනිසා එදා සිට අද දක්වා යෝගාවචාරයෝ වඩුවා, කාන්තාව සහ රන්කරුවා මරා දමා දුකෙන් නිදහස් වීමට විවිධ උපක‍්‍රම යොදති.

දුකෙන් නිදහස් වීම සඳහා තමන් ඉගෙනගත් ධර්මයම දුකට හේතුව බව නොදන්නා බැවින් ප්‍රඥාව පහල නොවූ අය  ධර්මය ගුරු කොටගෙන ධර්මයෙන් තණ්හාව මරා දැමීමට කායික හා මානසික වීර්යය යොදයි.

බඩමහත මුදලාලිගේ වරද නොදකින යෝගාවචරයෝ තවමත් සසර සැරිසරති. සමහර කෙනෙක් පයේ ඇනුන කටුව ඉවත් කිරීමට කටුවක් පාවිච්චි කරන්නාක් මෙන් ධර්මයෙන් ම ධර්මය නැසීමට කායික හා මානසික වීර්යය යොදති. ඔවුහු ද ධර්මයේ ඇති මුළාව නොදකිති.

සියළු ලෞකික ධර්ම වලින් නිදහස් වී ලෝකෝත්තර සුවය ලබන්නට කායික හා මානසික වීර්යය යොදන අය දැනගත යුතු කරුණු දෙකකි. පළමු වැන්න නම්, ප්‍රඥාවෙන් විනා තමන්නේ උවමනාවට බඩ මහත මුදලාලි මරා දැමිය නොහැකි ය. දෙවැන්න නම්, බඩ මහත මුදලාලි වරද කරු නොකොට ඔහු මරා දැමීමට මගුල් ඇතු සූදානම් නැත.
 
මෙතැන රට වැසියා නොදන්නා අභ්‍යන්තර රහසක් සිදුවෙයි. මෙම රහස දන්නේ බඩ මහත මුදලාලිත් රන් කරුවාත් පමණි. චින්තනය නමැති ගැහැණියට රූප ඡායා නමැති රන් ආභරණ ලැබුණි  නම් සසර ගමන නවතියි. නමුත් බඩ මහත මුදලාලි වරද කරු වන්නේ ඇයි දැයි යන්න අවබෝධ කරගත හැකි ධර්මයක් නොවෙයි. එම ධර්මය සත්ව පුද්ගල ධර්මයක් නොවෙයි. වචන හරහා හේතු පැහැදිලි කිරීමෙන් බඩ මහත මුදලාලිගේ වරද පෙන්විය නොහැක. එයට හේතුව එතැන ක්‍රියාත්මක වන්නේ හේතුඵල ධර්මයක් නිසයි. මෙතැනදී චින්තනය හේතුඵල ධර්මයක් ලෙස දකියි. එබැවින් කිසිම වචනයක් කථා නොකරම කැකිල්ලේ රජ බඩ මහත මුදලාලි මරා දැමීමට මඟුල් ඇතාට බාරදෙයි.  එමනිසා දුක නැති කිරීම කුමක්ද යන්න අවබෝධ කරගත හැකි ධර්මයක් ද නොවෙයි. එය ප්‍රඥාවෙන් දැකිය යුතුය.

දුකෙන් නිදහස් වන මාර්ගය වූ ආර්ය අෂ්ඨාංගික මාර්ගයට යමෙක් පැමිණෙන්නේ සියළුම ධර්ම වල වැරදි දැකීමෙන් පමණි. එය සම්මාදිෂ්ඨීයයි. සියළුම දෘෂ්ඨී වලින් නිදහස් වූ යම් තැනක් ඇත් ද එතැන සම්මා දෘෂ්ඨීය ඇත. එනම් එතැන කිසිම දෘෂ්ඨීයක් නැත. සත්‍යය ගවේෂකයාගේ කාර්යය නම් ධර්මයේ වැරදි දැකීම පමණි. ධර්මය තුළ ඇති මිත්‍යාව එළිදරව් කිරීම, ප‍්‍රඥාවේ හෙවත් මංගල හස්ථි රාජයාගේ කාර්ය බැවින්, සත්‍ය ගවේෂකයාට තමන් පිළිගත් ධර්මයේ මුළාව දකිනවා විනා කළ යුතු යමක් නැත.